මෙරට කාන්තාවන් ඕමානයට විකිණීමේ ජාවාරම ගැන තවත් තොරතුරු

මෙරට කාන්තාවන් ඕමානයට විකිණීමේ ජාවාරම ගැන තවත් තොරතුරු

November 22, 2022   07:14 pm

රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකික කාන්තාවන් විකිණීමේ සිද්ධියට අදාළව එල්ලවී ඇති චෝදනා මත වැඩ තහනම් කර සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් 'අද දෙරණ' ට ඊයේ (21) පැවසුවේ ඕමානයේදී කාන්තාවන් ගණිකා සේවයට යොමුකර ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු විසින් බවය.

ඒ අනුව එම චෝදනාවට ලක්වූ එක් කාන්තාවක් අද (22) අප වෙත  ඊට ප්‍රතිචාර දක්වමින් එම චෝදනා ප්‍රතික්ෂේප කළාය.

"කුෂාන් සර් කියලා තිබුණා මං.. රසිකා කියන කෙනාලු ජාවාරම් කරන්නේ. ඒ කියන්නේ විසිට් කට්ටිය ඕමාන්වලට ගෙන්වන්නේ මං කිව්වාලු. එහෙම මම ළමයි ගෙන්වනවා නම් මම මෙහෙම ගෙවල්වල රස්සාවල් කරන්න ඕනේ නැහැ. කුෂාන් සර් කියන්නේ තනිකරම බොරුවක්. මම කියන්නේ කුෂාන් සර්ගේ ජොබ් එකට සුදුසු කෙනෙක් දාන්න."

මේ අතර තමා එළඹෙන සතියේදී දිවයිනට පැමිණෙන බව චෝදනා එල්ල වී ඇති, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා අද සඳහන් කළේය.

රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත ඕමානයට කාන්තාවන් 45 දෙනෙකු රැගෙන ගිය සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේය.

ඉන් එක් සැකකරුවෙකු මහනුවර පල්ලකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනු අතර ඔහු රාමනාදන් යෝගේෂ්වරන් නැමැත්තෙකි.

මෙම කාන්තාවන් 45 දෙනා අතරින් ඕමානයේදී ගණිකා සේවයට යොදවා ඇති කාන්තාව සංචාරක වීසා මත මෙරටින් පිටත්කර ඇත්තේ මෙම සැකකරු බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන ඇත.

එස්. ඒ. අජිත් කුමාර සමරකෝන් වන අනෙක් සැකකරු ඊයේ අත්අඩංගුවට ගැණුනේ කුරුණෑගලදීය.

ඊයේ අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරුණු ඕමාන මිනිස් වෙළෙඳාමේ මෙරට ප්‍රධාන සැකකාරිය බව පැවසුණු ආශා දිසානායක නමැත්තිය හරහා එක් කාන්තාවක් ඕමානයට යවා ඇත්තේ මෙම තැනැත්තා බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දෙසැම්බර් පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.