දැරියකට ගුරුවරයා කළ අමානුෂික පහරදීම

දැරියකට ගුරුවරයා කළ අමානුෂික පහරදීම

November 11, 2022   08:42 pm

මිල්ලනියේ විදුහලක 5 ශ්‍රේණියේ දරුවන් පිරිසකට වධහිංසා කිරීමේ සිද්ධියේ උණුසුම පහව යන්නටත් පෙර තවත් එවැනිම ඛේදනීය පුවතක් "අද දෙරණ"ට වාර්තා විය.

ඒ, 5 ශ්‍රේණියේ දැරියකට සිදුකළ අමානුෂික පහරදීමක් ගැනය.

පහරදීම සිදුකර තිබුණේ අම්බලන්තොට ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකි.

අම්බලන්තොට ලුණම දුටුගැමුණු මහා විද්‍යාලයේ 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිය දියණියට පාසලේදී ගුරුවරයෙකු අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මව්පියන් හුංගම පොලිස් ස්ථානය වෙත ඊයේ (10) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

මව පොලීසියට සඳහන් කර තිබුණේ මෙම ගුරුවරයා කෝටුවකින් දැරියගේ පිට ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදී තිබූ බවය.

මුල් අවස්ථාවේ දැරිය මේ සම්බන්ධයෙන් මවගෙන් කරුණු වසන් කිරීමට උත්සාහ දරා තිබුණ ද දැරියගේ පිට ප්‍රදේශයේ තුවාල දුටු මව කළ විමසීමේදී දැරිය ඒ බව හෙළිකර තිබුණි.

පසුව දැරිය තංගල්ල රෝහලට ඇතුළත් කෙරුණි.

මීට පෙර ද අවස්ථා රැසකදී ගුරුවරයා දැරියගේ කොණ්ඩයෙන් ඇද පහරදීම නිසා දැරියගේ කොණ්ඩය කපාදැමීමට පවා මව කටයුතු කර දැරියව සනසා යළි පාසල් යැවීමට කටයුතු කර තිබුණි.

මෙම පහරදීම සම්බන්ධයෙන් මව්පියන් කළ පැමිණිල්ලත් සමග හුංගම පොලීසිය විසින් මෙම ගුරුවරයාව ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු අද (11) අඟුණකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙම ගුරුවරයා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්දැයි "අද දෙරණ" දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහි අතුරු වාර්තාවක් එළඹෙන සඳුදා ලබාගැනීමෙන් පසු ගුරුවරයා පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවය.

මේ අතර, දරුවන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නැයි ඉල්ලමින් නිහඬ විරෝධතාවයක් මාදිවෙල ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉදිරිපිටදී අද පැවත්වුණි.