අරගලයට සහාය දුන් විදෙස් කාන්තාවගෙන් අධිකරණයට පෙත්සමක්

අරගලයට සහාය දුන් විදෙස් කාන්තාවගෙන් අධිකරණයට පෙත්සමක්

August 12, 2022   04:18 pm

තමන්ව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් නමැත්තිය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමා ගාලු මුවදොර පැවැති 'ගෝඨාගෝ ගම' අරගලයට ක්‍රියාකාරීව මැදිහත් වූ බවය.

පසුව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව විසින් තමන් සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බව ඇය පෙන්වා දෙයි.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව ගනු ලැබූ තීරණය නීතිවිරෝධී යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.