මෙරට IT වෘත්තිකයින්ට විදෙස් රටකින් යෝජනාවක්

මෙරට IT වෘත්තිකයින්ට විදෙස් රටකින් යෝජනාවක්

June 29, 2022   07:18 am

මැලේසියාවේ රැකියා වෙළෙඳපොළට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවකයන් යෙදවීම කෙරෙහි ගවේෂණය කරන ලෙස මැලේසියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සයිෆුද්දින් අබ්දුල්ලා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවේ ඒ බව පවසා තිබේ.

එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ, මැලේසියානු රජය ඩිජිටල් ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි සිය අවධානය යොමු කොට ඇති බවය.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මැලේසියානුවන් රැසක් මැලේසියාවේ වර්ධනයට දායක වී ඇති බවද එර‍ට විදේශ කටයුතු අමාත්‍ය සයිෆුද්දින් අබ්දුල්ලා පවසා තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සයිෆුද්දින් අබ්දුල්ලා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී බහුවිධ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම හා සබැඳි කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් හමුවූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සහ පොදුරාජ්‍ය මණ්ඩලය ඇතුළු බහුපාර්ශ්වික සංසද හරහා සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා දේශපාලන හා ආර්ථික වැදගත්කමක් සහිත කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීය.

ඒ 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සමගාමීව 2022 ජූනි 24 සිට 25 යන දිනවල රුවන්ඩාවේ කිගාලි හි පැවති ද්විපාර්ශ්වික රැස්වීම් මාලාවක දීය.