විදෙස් සංචාරකයින්ට පොලීසියේ මැදිහත්වීමෙන් ඉන්ධන

විදෙස් සංචාරකයින්ට පොලීසියේ මැදිහත්වීමෙන් ඉන්ධන

June 28, 2022   07:45 pm

විදේශීය සංචාරකයින් රැගත් මෙරට සංචාරය කරන වාහනවලට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් දඹුල්ල ඉන්ධන පිරවුම්හලකින් වාර්තා විය.

ඒ අනුව ඔවුන් ඒ ගැන දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ගොස් දැනුම්දී තිබුණි.

එහිදී, දඹුල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතා අදාළ ඉන්ධන පිරවුම්හලට ගොස් පෙට්‍රල් ලීටර් 10 බැගින් හෝ විදේශිකයන්ට ලබාදෙන්නැයි ඉන්ධනහල් කළමනාකාරීත්වයෙන් ඉල්ලා තිබේ.

ඊට පිරවුම්හල් සේවකයින් කැමැත්ත පළ කළත් ඉන්ධන ලබාගැනීමට පැමිණි ජනතාව ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

එහිදී ඉන්ධන පෝලිමේ සිටි පිරිස් සඳහන් කළේ, "පිටිපස්සේ කට්ටියට ඉන්ධන නැති වුණොත් කවුද ඒකේ වගකීම ගන්නේ. අපිත් මේ දවස් ගණන් පෝලිමේ ඉන්නේ."  

පසුව සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රකාශ කළේ පොලීසිය සඳහා වෙන්කර ඇති ඉන්ධන ප්‍රමාණයෙන් කොටසක් විදෙස් සංචාරකයන්ගේ වාහනවලට ලබාදෙන ලෙසය.

මේ අතර මෙරට සංචාරයක නිරතව සිටී රුසියානු  යුවළකට ගුවන් තොටුපොළට ගමන් කිරීමට ඉන්ධන නොමැතිවූ සිද්ධියක් ගලේවෙලින් වාර්තා විය.

ඒ අනුව ගලේවෙල, තලකිරියාගම ඉන්ධන පිරවුම්හලක හිමිකරුවෙකු මැදිහත් වී ආරක්ෂිත සංචිතවලින් කොටසක් ඔවුන්ට නිකුත් කිරීමට පියවර ගත්තේය.