හෝමාගම නිවසේ ගින්නට මැදි වූ 19 හැවිරිදි දියණියත් මරුට

හෝමාගම නිවසේ ගින්නට මැදි වූ 19 හැවිරිදි දියණියත් මරුට

June 28, 2022   07:03 pm

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් බරපතළ පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි දියණිය ද මියගොස් තිබේ.

පසුගිය 25 වනදා රාත්‍රියේ ඇතිවූ මෙම ගින්නට හසුවූ එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළේය.

එහිදී මව සහ පියා පසුගිය ඉරිදා දිනයේ මියගිය අතර එක් දියණියක් කොළඹ ජාතික රෝහලේත්, අනෙක් දියණිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටියේය.

කොළඹ ජාතික රෝහල සදහන් කළේ බරපතළ තත්ත්වයේ පසුවූ 19 හැවිරිදි වියේ පසුවූ මෙම දියණියද අද දහවල් මියගොස් ඇති බවය.

මෙම දියණියගේ මව්පියන්ගේ අවසන් කටයුතු අද සිදු කෙරුණි.

මේ අතර මෙම නිවසේ ඇතිවූ  ගින්නට හේතුව සම්බන්ධයෙන් කරුණු ඇතුලත් කරමින් පොලීසිය නිවේදනයක් නිතුක් කර තිබුණි.

එහි සඳහන් වූයේ එම ගින්නට හේතුව කාමරයේ තබා තිබූ ඉන්ධන වර්ගයක් විය හැකි බවටය.

පසුගිය (25) වනදා රාත්‍රී දහයට පමණ මෙම ගින්න ඇතිවී තිබුණි.

නිවසේ පහළ මාලය තුළ ඇති වී තිබෙන ගින්න එහි නිදන කාමරයකටද පැතිර ගොස් ඇත.

ගෙහිමි යුවළ සිය දියණියන් දෙදෙනා සමග නිදා සිට ඇත්තේ එම ස්ථානයේය.

ගින්නෙන් බේරී ඇත්තේ වෙනත් කාමරයක නිදා සිටි, නිවෙස් හිමියාගේ මව පමණි.