අන්තර් පළාත් සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

අන්තර් පළාත් සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට

May 11, 2021   08:45 am

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට 30 වනදා මධ්‍යම රාත්‍රි දක්වා අන්තර් පළාත් සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

මේ අතර රටේ පවතින කොවිඩ් -19 තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ හැකියාවක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. 

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණ සීමා පැනවීමට ජනාධිපතිවරයා විසින් ඊයේ (10) නියෝග කර තිබුණි.

කොවිඩ්-19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි මස 30 වැනිදා දක්වා පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

ඒ අනුව,

  • සියලු පළාත් අතර සංචාරණ සීමා පැනවීමට
  • පිරිස් එක්රැස් වී සිදුකරන සියලු සම්භාෂණ අවස්ථා අවලංගු කිරීමට
  • වෙළෙඳ ආයතන තුළට පිවිසීමේ හා රැඳී සිටිය හැකි පුද්ගල සංඛ්‍යාව සීමා කිරීමට
  • ආසාදිතයන් බහුලව හමුවන ප්‍රදේශ හුදකලා කිරීම වැනි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනකිරීමටත් ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.