එකම පවුලේ තිදෙනෙක් කොවිඩ්වලින් මරුට

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ්වලින් මරුට

May 5, 2021   01:16 pm

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති පුවතක් මාලඹේ ප්‍රදේශයෙන් වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ 86 හැවිරිදි පුද්ගලයෙක්, 96 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 82 හැවිරිදි ඇයගේ බාල සහෝදරියකි.

කොවිඩ් ආසාදිතව පසුගිය අප්‍රේල් 22 වනදා එම තිදෙනාව IDH රෝහලට ඇතුළත් කර තිබුණු අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 3 වනදා ඔවුන් මියගොස් ඇත.

තලංගම පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන්ගේ මෘත දේහ සම්බන්ධ අවසන් කටයුතු මේ වනවිට සිදුකර ඇති බවය.

ඔවුන් මාලඹේ උඩවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිට පිරිසකි. 

අදාළ යුවලගේ දියණිය, ඇයගේ සැමියා සහ ඔවුන්ගේ පුත්‍රයා ද කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා විය.