හෙට IDH රෝහලේ දී එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

හෙට IDH රෝහලේ දී එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

January 28, 2021   09:29 pm

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් අද පස්වරුවේ කොළඹ ජාතික රෝහල, කොළඹ උතුර ශික්ෂණ රෝහල, කොළඹ දකුණ ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, මුල්ලේරියාව මූලික රෝහල හා IDH රෝහල වෙත බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

එම රෝහල්වලදි හෙට (29) සිට එන්නත්කරණය ආරම්භ වීමට නියමිතය.

එන්නත් බෙදාහරින අවස්ථාවට සහභාගී වූ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූවේ.

“වසංගත රෝග විද්‍යා අංශයේ තියෙන මධ්‍යම එන්නත් ගබඩාවට මේ ලැබුණු එන්නත් මාත්‍රා ලක්ෂ 5 අපි අද රාත්‍රීයේදීම බෙදා හැරීම පටන්ගන්වා. හෙට දවස තුළ අපි බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයක එන්නත්කරණය අරඹනවා. හෙට දවස වෙද්දි අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ දිස්ත්‍රික්කවල තියෙනවා ප්‍රාදේශිය එන්නත් ගබඩා. ඒ එන්නත් ගබඩාවලට මේ එන්නත් පිටත් කරනවා. එතනින් පසු සෙනසුරාදා සිට සෑම දිස්ත්‍රික්කයකම එන්නත් කරණය ආරම්භ වෙනවා.“

එන්නත හෙට දිනයේ සිට ලබාදීමේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැහැදිළි කළේය.

"හෙට උදෑසන අංගොඩ ජාතික වසංගත රෝග විද්‍යා ආයතනයේදී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරනවා. කොළඹ නගරයේ තවත් ස්ථාන කිපයකදීත් එන්නත් ලබාදීම සිදු කරන්න නියමිතයි. හෙට දිනය තුළ යුද හමුදාව මගිනුත් ආරක්ෂක සේවයේ නියුතු පිරිස් සඳහා එන්නත් ලබාදීම සිදුකරන්න බලාපොරොත්තුවෙනවා. චීන තානාපතිතුමා සමගත් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත ලංකාවට ලබා ගැනීමට අදාළ අවසන් එකඟතාවට එළඹෙන්න."

‍මේ අතර එන්නත් ලබාදීමෙන් අනතුරුව ඒ පිළිබඳව පසුවිපරමක් ද සිදු කෙරෙන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.