කහ කිලෝ 20000ක් සමග 4ක් අත්අඩංගුවට

කහ කිලෝ 20000ක් සමග 4ක් අත්අඩංගුවට

December 27, 2020   08:16 am

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කහ කිලෝග්‍රෑම් 20,000ක් හුංගම කලමැටිය ගුරුපොකුණ ධීවර වරාය අසළ දී පොලිස් භාරයට ගෙන තිබේ.

කහ තොගය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ද අත්අඩංගුවටගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් අද (27) අලුයම 3.30ට පමණ හුංගම කලමැටිය ගුරුපොකුණ ධීවර වරාය ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබිණි.

එහිදී  ධීවර වරායේ නවතා තිබූ යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම කහ තොගය සොයාගෙන ඇත.

එමෙන්ම කහ රැගෙන යෑමට පැමිණ තිබූ බවට සැක කෙරෙන ලොරි රථ 2ක් පොලිස් භාරයට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.