නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති

නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති

March 10, 2020   12:13 pm

නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.

181 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

අද(10) අළුයම 03.33 ට පමණ දකුණු කොරියාවේ සිට 166දෙනෙකු රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු වූ බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

මීට අමතරව තවත් ගුවන් යාන දෙකකින් ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ද අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය. 

ඔවුන් ගුවන් තොටුපලේදී පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන්අනතුරුව බස් රථ 6 කින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස්  තිබේ.

කෙසේවෙතත් අද අළුයම් කාලයේ පැමිණි එම මගීන් 181 දෙනා ගුවන්තොටුපලෙන් රැගෙන යාමේ දී පැය කිහිපයක ප්‍රමාදයක් සිදුවු බවට ඥාතීන් චෝදනා කරයි. 

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව වාර්තා විය.

එලෙස ආහාර සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල වු බවද අද දෙරණ වාර්තා කළේය.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය.