පාකිස්ථාන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

පාකිස්ථාන විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

December 3, 2019   10:06 pm

දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන විදේශ අමාත්‍ය මක්දූම් ෂා මෙහමූඩ් කුරේෂි මහතා ඊයේ ( 02) විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර, ප්‍රධාන අංශ ඔස්සේ තවදුරටත් විවිධාංගීකරණය හා වර්ධනය කළ හැකි, දැනට වර්ධනය වෙමින් පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කළේය.

මෙරටට පැමිණ සිටින විදේශ අමාත්‍යවරයා, නව විදේශ අමාත්‍යවරයා ලෙස ගුණවර්ධන මහතා පත්කිරීම සම්බන්ධයෙන් සුබ පැතුම් පිරිනමමින්, ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට පාකිස්ථානය මහත් උනන්දුවෙන් බලා සිටින බව සඳහන් කළ අතර, නුදුරු අනාගතයේ දී එරටට පැමිණෙන ලෙස අමාත්‍යවරයාට ආරාධනා කළේය.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සහ එල්.ටී.ටී.ඊය පරාජය කිරීම සඳහා දැරූ ප්‍රයත්නයත්, එමගින් ඉතා වැදගත් කටයුත්තක් වූ කලාපයේ සාමය යථා තත්ත්වයට පත් කිරීමත් පිළිබඳව අමාත්‍ය කුරේෂි මහතා ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කළේය.

දීර්ඝ කාලීන වෙළඳ සබඳතා පවත්වා ඇති අප දෙරට අතර ඉහළ ආර්ථික සහයෝගීතාවයක් කරා එළඹිය යුතු බවත්, එය මේ වන විට පූර්ණ වශයෙන් ප්‍රශස්ත මට්ටමකට පැමිණ නොමැති බවත්, ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සඳහා විශාල හැකියාවක් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

මේ වන විට ශ්‍රී ලංකාව පාකිස්ථානය සමඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකම් සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට නොගන්නා බව අවධාරණය කළ එතුමා, විශේෂයෙන් මෙරටට ප්‍රයෝජනවත් වන සත්ව පාලන ක්ෂේත්‍රයේ දී එම ඉඩ ප්‍රස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය. 

පාකිස්ථානයේ පළමු ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම (FTA) වූ පාකිස්ථාන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (PSLFTA) ශක්තිමත් කිරීම සඳහා දෙරටම අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා දන්වා සිටියේය.

වෙළඳ හා ආයෝජන සම්බන්ධයෙන් වර්ධනය කළ හැකි ක්ෂේත්‍ර හඳුනාගෙන, පාකිස්ථානයට පැමිණ, පාකිස්ථානයේ වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයේ නියැලි පිරිස සමඟ සම්බන්ධතා ඇති කර ගන්නා වැඩපිළිවෙළක් ශ්‍රී ලාංකික ව්‍යාපාරික අංශය වෙත හඳුන්වා දීමට සැලසුම් කරන ලෙස එතුමා විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය. 

ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහය අගය කළ එතුමා, කැපවීමෙන් යුතු අසල්වැසියන් ලෙස එකිනෙකාට උපකාර කිරීම සඳහා තවදුරටත් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ අපේක්ෂා පළ කළේය.

අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබූ අතර අප රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා පාකිස්ථානය ලබා දෙන ස්ථීරසාර සහය ඇතුළුව බහුආංශික සහයෝගිතාවයේ දී පාකිස්ථානය ලබා දෙන හවුල්කාරිත්වය උදෙසා ශ්‍රී ලංකාවේ අවංක කෘතඥතාව පළ කළේය. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තෝරාපත් කර ගැනීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය පත් කර ගැනුන අතර ඉන් අනතුරුව විදේශ අමාත්‍යවරයකු ශ්‍රී ලංකාවේ නියැලුණු පළමු සංචාරය මෙය වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

සහයෝගිතාව ඇති කර ගැනීමට ඉඩකඩ පවතින සියලුම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අපගේ හවුල්කාරිත්වය දිගින් දිගටම ලබා දීමට ශ්‍රී ලංකාව ඇපකැප වී සිටින බවත් ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්වය වර්ධනය කිරීමට අමතරව සංචාරක හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍ර හා සම්බන්ධ කටයුතුවල නියැලීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා වෙත දන්වා සිටියේය.

සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමේ ප්‍රබෝධමත් කිරීම ප්‍රයත්නයක් වශයෙන් ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමකට පාකිස්ථානයට පැමිණ එහි සංචාරය කරමින් දැකුම්කළු බෞද්ධ ආගමික ස්ථාන දැක බලා ගන්නා ලෙස කුරේෂි අමාත්‍යවරයා අරාධනා කළේය.

මෙම සංචාරය අතරතුර දී, විදේශ අමාත්‍ය කුරේෂි මැතිතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද බැහැදුටුවේය.

පාකිස්ථාන විදේශ අමාත්‍යාංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුහම්මඩ් ෆයිසාල්, පාකිස්ථානයේ වැඩ බලන මහ කොමසාරිස් ටැන්වීර් අහ්මඩ්, පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර පරිවාරක නිලධාරි කර්නල් සජ්ජාඩ් අලී සහ දෙවැනි ලේකම් අයේෂා අබුබකර් ෆාහාඩ් යන මහත්ම මහත්මීහු පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා සමඟ මීට සහභාගී වූහ.

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුවට සහභාගී වූහ.