දුර ගමන් බස්රථ සේවා සඳහා සේවා සැපයුම් ස්ථාන කිහිපයක්

දුර ගමන් බස්රථ සේවා සඳහා සේවා සැපයුම් ස්ථාන කිහිපයක්

December 3, 2019   04:28 pm

දැනට දුර ගමන් සේවා සඳහා යොදවා තිබෙන පුද්ගලික හා ලංගම බස්රථ නවත්වන ස්ථානවල මගීන් සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව මගීන් විසින් මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත.

ජනතා කේන්ද්‍රීය ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් අද (03) දින මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. 

මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී සැලසුම් අංශය විසින් මෙම කෙටිකාලීන ව්‍යාපෘති ඉදිරිපත් කළ අතර අමාත්‍යාංශ ලේකම් එච්.එම් ගාමිණි සෙනෙවිරත්න මහතාද මෙම සාකච්ඡාවට සහභාගී විය.

විශේෂයෙන් දුර ගමන් බස්රථ නවත්වන ස්ථානවල ආහාරපාන සඳහා වන අධික මිල, සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම ආබාධිත සහිත පුද්ගලයින්ට උචිත පරිදි පහසුකම් නොමැතිවීම හා අපිරිසිදුකම නිසා විශාල වශයෙන් මගී ජනතාව අපහසුතාවයට පත්වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම නිසා වැඩිපුර දුර ගමන් සේවා ක්‍රියාත්මක වන මාර්ග ආශ්‍රිතව සියලු පහසුකම් සහිත බස්රථ නවත්වන ස්ථාන කිහිපයක්, නියාමන ව්‍යාපෘතියක් ලෙස ඉදිරි මාස 02 තුළ කඩිනමින් ඇරඹීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා එම නිලධාරීන් ට උපදෙස් දෙනු ලැබීය. 

මේ සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීම මෙන්ම පුද්ගලික අංශයෙන්ද සහයෝගය ලබාගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් මගී ජනතවාගෙන් දිනපතා පැමිණිලි ඉදිරිපත් වුවද මෙතෙක් ඔවුන්ගේ ගැටළුවලට විසඳුමක් නොලැබූ නිසා මගී ජනතාව බරපතළ ලෙස අපහසුතාවයන්ට පත්වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.