සුරක්ෂා රක්ෂණය අඛණ්ඩව-සියඹලාපිටිය

සුරක්ෂා රක්ෂණය අඛණ්ඩව-සියඹලාපිටිය

November 29, 2019   01:30 pm

නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනකු අද(29) දිනයේ සිය ධුරවල රාජකාරි ආරම්භ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින ජල සම්පාදන පහසුකම් අමාත්‍යංශයෙහි රාජ්‍ය අමාත්‍යධුරයේ දිව්රුම් දුන් වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන පහසුකම් අමාත්‍යාංශයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යධුරයේ දිව්රුම් දුන් කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද කොළඔ පිහිටි සිය අමාත්‍යංශයේදි රාජකාරී ආරම්භ කළේය.

එම අවස්තාවට කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක සහ ගුවන් සේවා කැබිනට් අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා ද එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වු කෙහෙළිය රඹුක්වැල්ල රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, ඉන්දියා හා චීනය ඉතාම සුහද රටවල් දෙකක් බවයි.

ජනාධිපතිවරයා ඉන්දියාවට යෑමේ ප්‍රධානම අරමුණ වුයේ ද, ආයෝජනයන් වර්ධනය කිරීම හා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ණය වෙනුවට ආයෝජන තුළින් රටේ ඉදිරි වැඩපිළිවෙල ගෙන යෑම රජයේ අරමුණ බවත් පැවසු ඒ මහතා, එය කළ හැකියි යන විශ්වාසය ඇති බවත් කියා සිටියේය.

අයෝජන සඳහා අවශ්‍ය වන ජාතික ආරක්ෂාව, දේශපාලන ස්ථාවරත්වය යන කරුණු දෙකම මේ වන විට තහවුරු වී ඇතැයිද කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.

එමෙන්ම අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යධුරයේ දිව්රුම් දුන් රංජිත් සියඹලාපිටිය මහතා ද අද බත්තරමුල් ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේදි රාජකාරී ආරම්භ කළේය.

එම අවස්ථාවට අධ්‍යාපන , ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද එක්ව සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, නව පාසල් වාරය සඳහා නිල ඇඳුම් හා සපත්තු ලබා දීම සඳහා යම් ප්‍රමාදයක් වු බවයි.

පසුගිය රජයේ අඩුපාඩු කථා කිරීමට තමා අකමැති බවත් පැවසු ඒ මහතා, පාසල් නිළ ඇඳුම් සඳහා රෙදි ලබා දීමට කාලයක් නොවුන බැවින් මෙවරත් පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් පත් ලබා දීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

පාසල් ආරම්භ වී සති දෙකක් ඇතුළත දරුවන්ට පාසලටම මෙම වවුචර් පත් ලබා දීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සුරක්ෂා රක්ෂණ ක්‍රමය කිසිදු හේතුවක් මත නවත්තන්නේ නැතැයි  ද පැවසු අමාත්‍යවරයා, කවුරුන් විසින් කළත් එය හොඳ වැඩක් බවත් කියා සිටියේය.

දරුවන්ට ඒ තුළින් ආරක්ෂාව ලැබෙන නිසාවෙන් ඉදිරියටත් එය සිදු කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.