ණය යෝජනා ක්‍රම ප්‍රතිසංවිධානය කරන්න තීරණයක්

ණය යෝජනා ක්‍රම ප්‍රතිසංවිධානය කරන්න තීරණයක්

November 26, 2019   05:32 pm

නව රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වන ලෙස ණය යෝජනා ක්‍රම නැවත සමලෝචනය කිරීමට සහ ප්‍රතිසංවිධානය කිරීමට මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාශය තීරණය කර තිබේ.

ඒ අනුව විධිමත් අධ්‍යයනයකින් පසුව එම ණය යෝජනා ක්‍රම වඩාත් පුළුල් පරාසයක් ආවරණය වන පරිදි හා ඵලදායී අයෝජන අරමුණු කර ගනිමින් වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ආර්ථිකයේ ප්‍රමුඛ ක්ෂේත්‍ර හදුනාගෙන එම ක්ෂේත්‍ර මගින් ජාතික ආර්ථිකයට වන දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.

සහනදායී පොලී අනුපාත යටතේ ලබාදෙන ණය යෝජනා ක්‍රම මඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම හා එමඟින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය තවදුරටත් වර්ධනය කිරීම රටේ ආර්ථික වර්ධනය කෙරෙහි සෘජුව බලපාන ප්‍රධාන සාධකයක් බවට රජය අවබෝධ කරගෙන ඇති බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.