ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

September 11, 2019   10:35 pm

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbé  මහතා අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන්  සාකච්ඡාවට ලක් විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ටෝගෝ ජනාධිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

ජනාධිපති මෛත්‍රී‍පාල සිරිසේන මහතා මෙහිදී කියා සිටියේ ටෝගෝ ජනාධිපතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර ආර්ථීක, වෙළෙඳ සහ ආයෝජන සබඳතා වල වර්ධනයට මනා රුකුලක් බවයි.

ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමග හමුවකට හෙට (12) දිනයේදී තමා එක්වන බව මෙහිදී පැවසු ටෝගෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට ටොගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා තමා එහිදී ආරාධනා කරන බවත් විශේෂයෙන් ඇගලූම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට වැඩි අයෝජන අවස්ථා උදාකරදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා බවත් ය.

අප්‍රේල් 21 වනදා සිදුවීම සහ එම ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට ඉතා කෙටි කලක් තුළ ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ එක්ව ගත් සාර්ථක ක්‍රියාමාර්ග පිලිබඳ මෙහිදී ජනාධිපතිවරයා ටෝගෝ ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ ටෝගෝ ජනාධිපතිවරයා තම ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කළේය.

එමෙන්ම ඔහු කියා සිටියේ ලබන සෙනසුරාදා තම රටේ දී ආරම්භවන ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ සම්මේලනයේ දී ත්‍රස්තවාදය මැඩලීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ විස්තර කිරීමට තමා අපේක්ෂා කරන බවයි.

ඉතා කෙටිවුවත් ටොගෝ ජනාධිපතිවරයාගේ ඵලදායී වූ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ අප්‍රිකානු රටවල් සමඟ ආර්ථීක සබදතා තර කර ගැනීමට ශ්‍රී ලංකාව ප්‍රමුඛ අවධානයකින් කටයුතු කරන බවයි.
 
දෙරට අතර සහයෝගිතාව සහ මිත්‍රත්වය මෙම සංචාරය සමඟ තව තවත් සවිමත් වනු ඇතිබවට විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මෙම හමුව සනිටුහන් කරමින් ටෝගෝ ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.