පරිපාලන සේවය අසනීප නිසා ජනතාවට පීඩා

පරිපාලන සේවය අසනීප නිසා ජනතාවට පීඩා

September 11, 2019   12:37 pm

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ක්‍රියාත්මක කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ දෙදින වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව උද්ඝෝෂණ ව්‍යාපාරයක් මේ වන විට පැවැත් වේ. 

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාව පැවැත්වෙන බව එම සංගමය සදහන් කළේය. 

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ඊයේ (10) සහ අද (11) යන දෙදින තුළ ක්‍රියාත්මක කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සදහා පරිපාලන නිලධාරීන් 3000 ක පමණ පිරිසක් සහභාගී වී සිටින බව එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා පැවසීය. 

පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය අතරතුර සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද දෙරණට අදහස් දැක්වූ රෝහණද සිල්වා මහතා.

මේ අතර මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ආගමන -විගමන දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ආයතනවලට සේවාවන් ලබාගැනීමට පැමිණි පිරිස් දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි. 

එමෙන්ම , ආබාධිත රණවිරුවන් පිරිසක් ක්‍රියාත්මක කළ විරෝධතා පාගමනක් හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ කොටුව ලෝටස් වටරවුම ආශ්‍රිත ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හටගත්තේය. 

මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොර දෙසට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දැමීමට  ද පොලිසිය පියවර ගනු ලැබීය.