සාමනේර හිමිවරුන්ට පහර දීම සම්බන්ධයෙන් පළ වු ඡායාරූපයෙන් පුද්ගලයෙක් අපහසුතාවයට

සාමනේර හිමිවරුන්ට පහර දීම සම්බන්ධයෙන් පළ වු ඡායාරූපයෙන් පුද්ගලයෙක් අපහසුතාවයට

September 11, 2019   09:19 am

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.

මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙක් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුව හඳුනා ගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙම සැකකරු වෙනුවට ඒ හා සමාන හැඩහුරුකම් සහිත වෙනත් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ද  මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ සංසරණය වෙන බව අපට වාර්තා විය.

කෙසේ වෙතත් එම පුද්ගලයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, සාමනේර හිමිවරුන්ට පහර දෙනු ලැබුවේ තමා නොවන බවත් එයට තමාගේ ඡායාරූපයක් මුහුණු පොතේ සංසරණය වෙන බවත්ය.

එම පුද්ගලයා කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රි ලාංකීකයෙක් වන අතර, තමාගේ ඡායාරූපය සමාජ ඡාලාවලින් ඉවත් කර දෙන ලෙස ඔහු ඉල්ලීමක් කරයි.