ශ්‍රීධරන් මන්ත්‍රීවරයාගේ නිවස අසල ඉඩමක වල දැමු ආයුධ හා රත්‍රං සොයා කැණීම්

August 22, 2019   09:16 am

කිලිනොච්චිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාට අයත් කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ නිවසක් අසළ ඉඩමක එල්.ටී.ටී.ඊ සංවිධානය සැඟවු ආයුධ හා රත්රන් ඇති බවට වන සැකයක් මත ආරක්ෂක අංශ අදාළ ඉඩම කැනීම් සිදු කර තිබේ.

ඊයේ (21) දිනයේ දී මෙම කැනීම් සිදු කල බව කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ ධර්මපුරම් පොලිස් නිලධාරීන් වෙත ලද තොරතුරක් මත අංක 885, ආරුමුගම් පාර,වට්ටකච්චි, කිලිනොච්චිය යන ලිපිනයේ පැවති ඉඩමක් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ කැනීම කළ බවයි.

කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය,පුරාවිද්‍යා නිලධාරීන්, ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් ඉදිරියේ යුද හමුදා හා පොලිස් ආරක්ෂාව යොදා කැනීම් කටයුතු සිදුකළ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පොලීසිය පැවසුවේ කැනීම් තුළින් කිසිවක් හමුනොවු අතර, මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැනීම් කටයුතු නවතා දැමු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.