පැරෂුටය ක්‍රියාත්මක නොවී අවසන් ගමන් ගිය දක්ෂතම පැරෂුට් සෙබළා

පැරෂුටය ක්‍රියාත්මක නොවී අවසන් ගමන් ගිය දක්ෂතම පැරෂුට් සෙබළා

August 20, 2019   07:33 pm

විශේෂ කාර්ය බලකායේ සුපිරි දක්ෂතා දැක්වූ පැරෂුට් සෙබළෙකු අද පුහුණුවකදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්විය.

සිද්ධියෙන් මියගියේ බළලත් නිලධාරී චම්පික කුමාරසිංහ නමැති නිලධාරියායි.

පිමි 900කට ආසන්න සංඛ්‍යාවක් පැන ඇති ඔහු යුද හමුදාවේ දක්ෂතම පැරෂුට් සාමාජිකයෙක්. 

අද(20) පෙරවරු 8 ට පමණ අම්පාර උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පුහුණුවීම්  කටයුතු සිදුව තිබේ.

අදාළ පුහුණුවීම් සඳහා  වයි 12 කුඩා ගුවන් යානයට නැගි චම්පික සහ තවත් පැරෂුට් සෙබළෙකු බිමට පැන ඇත්තේ, අඩි දස දහසක පමණ උඩක සිටයි.

එහිදී චම්පික කුමාරසිංහ නැමති බලලත් නිලධාරියාගේ පැරෂුටය ක්‍රියාත්මක වී නැහැ. 

යුද හමුදා පැරෂුට් කණ්ඩායමේ පුහුණුකරු කර්නල් විජිත හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, උහන ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි පැරෂුට් පතිත කලාපයේදී චම්පික කුමාරසිංහ සොයාගැනීමට හැකි වූ බවයි. 

ඔහු අම්පාර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.

දෙදරු පියෙකු වන 42 හැවිරිදි චම්පික කුමාරසිංහ කඹුරුපිටියේ පදිංචිකරුවෙක්. 

පැරෂුට් කණ්ඩායමේ වසර 12ක පමණ පළපුරුද්දක් ඇති ඔහු , මහා බ්‍රිතාන්‍ය, ඉන්දුනීසියාව සහ ඩුබායි රාජ්‍යවලදී ජාත්‍යන්තර පැරෂුට් සංදර්ශනවලට සහභාගි වී තිබේ.

අවසන් වරට ඔහු පැරෂුට් භටයෙකු සිදුකරන දුෂ්කරම පාඨමාලාව වූ බේස් ජම්ප් හදාරා ඇත්තේ, ඔස්ට්‍රියාවේදීයි.

ඉන් පසු එය අත්හදා බලා ඇත්තේ, ගාලු මුවදොර පැවති පසුගිය නිදහස් උළෙලේදී  ෂැන්ග්‍රිලා හෝටලයේ සිට බිමට පනිමින්. 

මෙහිදී තෙවැනියා ලෙස බිමට පනින්නේ අද අනතුරින් මියගිය චම්පික කුමාරසිංහ මහතායි.