ප්‍රතිසංස්කරණය වු කොච්චිකඩේ දෙව් මැදුරේ පළමු දේව මෙහෙය අද

ප්‍රතිසංස්කරණය වු කොච්චිකඩේ දෙව් මැදුරේ පළමු දේව මෙහෙය අද

June 12, 2019   06:00 pm

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වූ කොටහේන, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව එහි පළමු දේව මෙහෙය අද (12) පැවැත්වුණි.

ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාව සඳහා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින බව වාර්තා වෙයි.

අප්‍රේල් මස 21 වන දින එල්ල වු ප්‍රහාරයෙන් අනතුරුව අප්‍රේල් මස 25 වනදා මෙම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණි.

මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 30 ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ අතර මේ සදහා පාර්ශව රැසක අනුග්‍රහය හිමිවුණි.

ප්‍රහාරයෙන් විනාශයට පත් වූ දේවස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරුවරුන් සහ තාක්ෂණික නිලධාරීන් 350 කගේ සහභාගීත්වයෙන් දින 45 ක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීම විශේෂත්වයකි.

හෙට (13) පෙරවරු 10 ට මංගල්‍ය දිව්‍ය පූජාව කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි. 

කෙසේ වෙතත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූවන් සිහිපත් කරමින් මෙවර වාර්ෂික මංගල්‍ය උත්සවාකාරයෙන් නොපැවත්වීමට ශාන්ත අන්තෝනි දේවස්ථානය තීරණය කර තිබේ.

ඒ අනුව කොඩිගස එසවීම, ප්‍රසිද්ධ නුවානයන් නොපැවැත්වීම සහ මංගල්‍ය පෙරහැර ද නොපැවැත්වෙනු ඇති.