මුදල් ඇමති පත් කළ ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

මුදල් ඇමති පත් කළ ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු වළක්වමින් අතුරු තහනම් නියෝගයක්

May 15, 2019   05:42 pm

මුදල් අමාත්‍යවරයාගේ නියෝග පරිදි ලිට්රෝ ගෑස් සමාගම සඳහා පත් කර ඇති නව අධ්‍යක්ෂ මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරු සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්.ගූරුසිංහ මහතා විසින් මෙම නියෝගය කරනු ලැබීය.

ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් තුළින් පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ ලිට්රෝ ගෑස් සමාගම සඳහා පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා  විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇති බවයි.

ලිට්රෝ ගෑස් සමාගම තුළ මහා භාණ්ඩාගාරයේ කොටස් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම නිසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එම සමාගමේ අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ බලයක් නොමැති බවද සඳහන් කරයි.

එම නිසා නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයට එම තනතුරුවල ක්‍රියා කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ වාණිජ මහාධිකරණය කලින් පැවැති අධ්‍යක්ෂ මණ්ඩලය නිළධාරින් ගේ කටයුතුවලට බාධා නොකරන මෙන්ද නියෝගයක් නිකුත් කළේය.

වැඩිදුර විමසීම ලබන 28 වැනිදාට කල් තැබුණි.