මත්ද්‍රව්‍ය ටොන් 22ක් පාකිස්ථානයේ දී ගිනි තබයි
සයුරෙන් එතෙර

මත්ද්‍රව්‍ය ටොන් 22ක් පාකිස්ථානයේ දී ගිනි තබයි

April 26, 2019   11:12 am

මත්ද්‍රව්‍ය ටොන් 22කට ආසන්න ප්‍රමාණයක් සහ තවත් අනවසර භාණ්ඩ රැසක් ගිනි තබා විනාශ කර දැමීමට පාකිස්තාන රජය පසුගියදා කටයුතු කළේය.

ඒ අතරට මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ද ඇතුලත්ව තිබී ඇති බව සඳහන්ය.

අමෙරිකානු ඩොලර් මිලියන 21ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ විනාශ කිරීමට පාකිස්තාන රජය කටයුතු කර ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය බවට පැවසෙන ඓතිහාසික භාණ්ඩ තොගයක් මෙසේ විනාශයට පත්කළ බව එරට වාර්තා වැඩිදුරටත් පවසා සිටියි.

මත්ද්‍රව්‍ය ටොන් නවයක තොගයක් සහ ඇසිටික් ඇන්හයිඩ්‍රයිඩ් ටොන් 21.7ක් ගිනි තබා විනාශ කෙරුණු මේ අවස්ථාව පැවැත්වුණේ කරච්චි නුවරදීය.

ඊට අමතරව නීතිවිරෝධී මත්පැන් බෝතල් සහ බියර් කෑන් 60 000ක් ද මෙහිදී බුල්ඩෝසරයක් ඒ මතින් යවමින් විනාශ කෙරුණි.

පසුගිය ජනවාරි මාසයේ 26වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර රේගු දිනයේදී ඒවා විනාශයට පත්කිරීමට නියමිතව පැවැතියත්, අපහැදිලි හේතුවක් මත එම සැමරුම කල්දැමීමට බලධාරීන් කටයුතු කළේය.

පාකිස්තානයේ සමීපතම අසල්වැසියා වන්නේ ලොව විශාලතම හෙරොයින් නිෂ්පාදකයා මෙන්ම ප්‍රධානතම හෂීෂ් මත්ද්‍රව්‍ය නිපදවන්නාද වන ඇෆ්ගනිස්තානය යි.

මේ හේතුවෙන් අනියම් මාර්ග ඔස්සේ පාකිස්තානය වෙත වඩාත් සක්‍රීයව මත්ද්‍රව්‍ය හුවමාරු වන බව එරට බලධාරීන් පවසා සිටියි.