දැයට සම්පතක්
April 15, 2019 09:29 pm
මව්රට වෙනුවෙන් රුක් රෝපණයෙන් තම යුතුකම ඉටු කරනලෙස ජනපතිවරයා ඉල්ලා සිටියදී ඒ යුතුකම අපූරුවට ඉටු කළ , මව්රටට ණය නැති මිනිසකු ගැන අද දෙරණට අංකුඹුර ප්‍රදේශයෙන් වාර්තා විය.
මේ අපූරු මිනිසා කුඹුක් ගස් 350 ක උයනක් මේ වන විටත් දැයට දායාද කර අවසන්.
ශ්‍රී ලංකාවේ වන ගහණය 1990 වසරේදී 36% ක්ව පැවති අතර වසර 28 කට පසු 2018 වසර වන විට එය 29.7 % ක් දක්වා අඩු වී තිබේ.
ඒ සංවර්ධනය මුල් කරගත් මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙනයි.
මෙලෙස වනවැස්ම අඩුවනවාසේම ජීව පැවැත්මට ප්‍රයෝජනවත් , පාරිසරික වශයෙන් වැදගත් ශාක රැසක් මේ වන විට විනාශ කෙරෙමින් පවති.
මහනුවර අංකුඹුරේ පදිංචි කරණවෑමියකු වන ඩබ්ලිව්.ජී. සිරිසේන වසර 19 ක් මුළුල්ලේ වෙහෙස වෙමින් කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව වනවැස්මක් බිහිකර ඇත්තේ මෙවන් පසුබිමකයි.
ප්‍රයෝජනයට නොගෙන තබූ අක්කර 03ක විශාල ඉඩමක සිරිසේන කුඹුක් පැළ 350 ක් සිටුවා රැකබලාගත් අතර අද එය දිස් වන්නේ මේ ආකාර අපට දැක බලා ගත හැකිය.
ටර්මිනලියා අර්ජුනා (Terminalia Arjuna) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුඹුක් මිල කළ නොහැකි තරම් වටිනා ශාකයක් වන්නේ උල්පත් ජලයේ ඇති ස්වභාවික කිවුල ගතිය අඩු කිරීම හා එම ජලය පවිත්‍රකරණය සඳහා කුඹුක් ශාකයකට ඉහළ හැකියාවක් පැවතීම නිසයි.
කුඹුක් ගස් අසල ඇති ළිං ජලය ශීතල ස්වභාවයක් ගන්නේ සහ පවිත්‍ර වන්නේද මේ නිසයි.
අත්හැර දැමු හේනක් අද වන විට කුඹුක් ගස් 350 ක් සහිත උයනක් බවට පත්කිරීමට සිරිසේන දායක වුවද එය රක්ෂිතයක් ලෙස නම්කොට ආරක්ෂා කිරීමට බලධාරීන් පියවර නොගතහොත් එම කුඹුක් ගස් කිසිවකුගේ පොරව පහරට ලක් වනු ඇති.
පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ මෙන්ම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගෙත් , එසේම පරිසර ඇමති ධුරය දරන ජනාධිපතිවරයාගේත් අවධානය මේ වෙත යොමුවනු ඇතැයි අද දෙරණ අපේක්ෂා කරන්නේය.