රේගු බදු වංචාවක් සම්බන්ධව ඇප මත මුදා හැර සිටි සැකකරු යළි රිමාන්ඩ්

රේගු බදු වංචාවක් සම්බන්ධව ඇප මත මුදා හැර සිටි සැකකරු යළි රිමාන්ඩ්

February 18, 2019   03:07 pm

ශ්‍රි ලංකාවට ආනයනය කළ බීඩි කොළ අඩංගු කන්ටේනරයක් රුපියල් මිලියන 40 ක බදු නොගෙවා නීතිවිරෝධී ලෙස මුදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉකුත්දා ඇප මත මුදා හැර සිටි සැකකරුගේ ඇප අවලංගු කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම සැකකරු ලබන 25 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

රේගුව මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඉකුත් 16 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියම කර තිබුණි.

එහෙත් අධිකරණය විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ප්‍රමාද දෝෂයකින් බව සඳහන් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය එම ප්‍රමාද දෝෂය නිවැරදි කරමින් තමා මෙම සැකකරු ලබන 25 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන බව නියෝග කළේය.

එම නඩුව අද(18) කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඉකුත් 16 වන දා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එදින මහේස්ත්‍රාත්වරයා විසින් අද දින දක්වා මෙම සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළ බවයි.

රේගු පනතේ රුපියල් මිලියනයකට වැඩි වටිනාකමකින් යුත් වැරදි වලට අදාළව ඇප ලබාදීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් ඒ සඳහා බලය පවතින්නේ මහාධිකරණයට පමණක් බවත් රේගු නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඉකුත් 16 වන දා මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ඇප මත මුදා හැර තිබෙන්නේ ප්‍රමාද දෝෂයකින් බව පෙන්වා දුන් රේගුවේ නීලධාරින් එම වරද නිවැරදි කර සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර ලෙසයි අධිකරණය ඉල්ලා සිටියේ.

මෙම සැකකරු ඇප මත එළිමහනේ සිටිය හොත් ඉදිරි පරීක්ෂණ වලට බාධා සිදුවිය හැකි බවත් සාක්ෂි වලට බලපෑම මෙන්ම සාක්ෂි විනාශ කිරීමටද ඔහුට හැකියාව පවතින බවත් රේගුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.

එමෙන්ම මෙම පරීක්ෂණවලට අදාළ රහසිගත වාර්තාවක්ද රේගුවේ නිලධාරීන් විසින් මහේස්ත්‍රාත්වරිය ඉදිරිපත් කළේය.

රේගු නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් 05  වනදා ශ්‍රී ලංකා රේගුව විසින් සුවිශේෂී වැටලීමක් සිදු කළ බව ප්‍රකාශ කළේය.

එම වැටලීමේදී ඉන්දියාවේ සිට බංග්ලාදේශය හරහා ශ්‍රී ලංකාවට බීඩි කොළ රැගෙන විත් ඒවා කාන්තා නිමි ඇඳුම් ලෙස හඳුන්වා ඉතාලියට අපනයනය කිරීමේ වංචනික ව්‍යාපාරයක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බව සඳහන් කළ රේගු නිලධාරීන් ඊට අදාළව සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කළේය.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ සාක්ෂි මත මෙම සැකකරු ද අත්අඩංගුවට ගත් බව සඳහන් කළ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් නැමැති සැකකරු මෙම ජාවාරම මෙහෙයවූ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති බව ද කියා සිටියේය.

පරිගණක තාක්ෂණය සහ නුතන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගනිමින් මෙම සැකකරු මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍යව ඇති බවද රේගුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සැකකරු ඇප මත නිදැල්ලේ සිටියොත් ඉදිරි පරීක්ෂණ කටයුතුවලට බාධා සිදුවීමට ඉඩකඩ ඇති බව අනතුරු අගවා සිටී ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සාක්ෂිකරුවන්ට බාධා කොට සාක්ෂි විනාශ කිරීමට ඔහුට අවකාශ සැලසෙන බවද පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් එම සැකකරු ඇප මත මුදා හරිමින් ඉකුත් 16 වනදා මහේස්ත්‍රාත්වරයා විසින් දුන් නියෝගය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙම සැකකරු ඇප මත මුදා හැරීම මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇත්තේ එම අවස්ථාවේ පැවති කරුණු හා තත්ත්වයන් මත බව පෙන්වා දුන්නේය.

නව කරුණු ඉදිරිපත් කරමින් එම ඇප නියෝගය අවලංගු කරන්නැයි ඉල්ලා සිටීම යුක්ති සහගත නොවන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි ඇප අවලංගු කිරීමක් සිදු කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බව ද කියා සිටියේය.

මෙම ඇප නියෝගය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ඊට අදාළව මහාධිකරණය හමුවේ එය අවලංගු කරන්නැයි ඉල්ලා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට රේගුවට හැකියාව පවතින බව පෙන්වා දුන් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සිල්වා මහතා රේගුව විසින් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අබේවික්‍රම මහත්මිය සැකකරුගේ ඇප නියෝගය අවලංගු කරමින් ඔහු ලබන 25 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කළේය.

එමෙන්ම සැකකරු රේගු පරීක්ෂණයක් සඳහා ලබන 21 වනදා ශ්‍රී ලංකා රේගුව වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මේ අතර වියට්නාමය සහ බ්‍රසීලය යන රටවලින් කළු ගම්මිරිස් ශ්‍රී ලංකාවට ආනයනය කර ඒවා දේශීය ගම්මිරිස් ලෙස හඳුන්වා වංචනික ලෙස ඉන්දියාවට අපනයනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද නූර්දීන් ෆසල් අහමඩ් නැමැති මෙම සැකකරු ලබන 25 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළා.

ශ්‍රී ලංකා රේගුව මෙහිදී දන්වා සිටියේ මෙම සැකකරු වියට්නාමය සහ බ්‍රසීලය යන රටවලින් කළු ගම්මිරිස් මෙරටට ගෙන්වා ඒවා දේශීය ගම්මිරිස් ලෙස අඟවා වංචනික ආකාරයට ඉන්දියාවට අපනයනය කිරීම තුළින් අයුතු ලෙස බදු සහන ලබා ගෙන ඇති බවයි.

ඒ තුළින් ඔහු රේගු බදු වංචාවක් සිදුකර ඇති බව ද අධිකරණයට එම නිලධාරීන් දන්වා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම සිද්ධිය සඳහා ද අදාළ සැකකරු ලබන 25 වනදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියම කළේය.