කටුනායක ගුවන් තොටුපලට පැමිණි ඉන්දීය ජාතිකයෙක් හදිසියේ ජීවිතක්ෂයට

කටුනායක ගුවන් තොටුපලට පැමිණි ඉන්දීය ජාතිකයෙක් හදිසියේ ජීවිතක්ෂයට

February 18, 2019   08:51 am

ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එරට ගුවන් මගියෙකු අද(18) දින අලුයම එහි පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු, 52ක් වු ඉන්දීය ජාතිකයෙකි.

ඔහු රාමනාථපුරම් හි පදිංචි ජාතික සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔහු අද අලුයම 2.00 ට පමණ ඉන්දියාව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ තිබේ. 

එහිදී ඔහුට ඇති වූ කිසියම් රෝගාබාධිත තත්වයක් නිසා එහි වූ කොන්ක්‍රීට් කණුවක් බදා ගෙන ඇති අතර , පසුව ඔහු එම කණුව දිගේ රෑටා වැටෙන අන්දම ගුවන් තොටුපළ තුළ සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් ගුවන් තොටුපළ පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

මෙම මරණය පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගෙන තිබේ.

එමෙන්ම මේ පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර , මෙම මෘත දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට ඇතුළත් කර , ඉන් අනතුරුව අධිකරණයේ නියෝග මත , මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගනිමින් සිටිති.

 කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත එම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරුන් වන අලවල සහ ප්‍රනාන්දු , පොලිස් කොස්තාපල්වරුන් වන 6109 ජගත් සහ 86355 ප්‍රසාද් යන නිලධාරී මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.