ඇමතිගේ සහ CEBයේ උපන් දිනය වෙනුවෙන් විදුලි බුබුළු 50000ක ආලෝක පූජාවක්

ඇමතිගේ සහ CEBයේ උපන් දිනය වෙනුවෙන් විදුලි බුබුළු 50000ක ආලෝක පූජාවක්

February 17, 2019   11:33 am

ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින්, එළඹෙන  නවම් පුන් පොහෝ දින කතරගම, කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී   ආමිස සහ ප්‍රථිපත්ති පූජා රාශියක් පැවැත්වීමට, එම අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සංවිධානය කර තිබේ.

වසර 50 ක් පුරාවට ලක්වාසි විදුලි පාරිභෝගික ජනතාවට ඉමහත් සේවාවවක් ඉටුකරමින්, සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ භාරධූර කර්තව්‍යයට උරදුන් ලංකා විදුලිබල මණ්ඩලයට තවත් චිරාත් කාලයක් සිය සේවය අඛණ්ඩව සහ ගුණාත්මකව පාරිභෝගික ජනතාව වෙත සැපයීමටත්, ඒ සදහා නිසි කලට වැසි ලැබීවිදුලිබලාගාර ආශ්‍රිත ජලාශයන් ජලයෙන් පෝෂිතවන්නටත්, විදුලිබල ක්ෂේත්‍රය නිසි මගට යොමුකරමින්, එහි වර්ධනය සහ පැවැත්ම වෙනුවෙන් කැපවී සේවය කරනු ලබන විෂයභාර අමාත්‍යතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන්  කිරිවෙහෙර වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම පිණිසත් මෙම පුදපූජා පැවැත්වේ.

නවම් පුන් පොහෝ දින පස්වරුවේ අෂ්ටපල බෝධීන් වහන්සේට අටපිරිකර පූජා කිරීම, කදිර සුරිදුන් වෙනුවෙන් කතරගම මහ දේවාලයේ පළතුරු පූජාව, කිරිවෙහෙර වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන කප්රුක පූජාව, මහසෙන් දේවාලයේ නානුමුර පූජාව, කිරිවෙහෙර වහන්සේ අභියස පහන් 1500 ක පහන් පූජාව සහ විදුලි බුබුළු 50,000ක් එක්වර දල්වමින් කිරිවෙහෙරවහන්සේ අභියස විදුලි ආලෝක ජූජාව ආදි විශේෂ පුදපූජා රාශියක් පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ.