ඥාති දියණියට මරණ තර්ජනය කළ මාමා ගිනි අවියත් සමඟ පොලීසියට

ඥාති දියණියට මරණ තර්ජනය කළ මාමා ගිනි අවියත් සමඟ පොලීසියට

February 17, 2019   07:57 am

ඌරගස්මන්හන්දිය, ලේනගල්පළාත ප්‍රදේශයේදී ටී - 56 උණ්ඩ දැමිය හැකි පරිද්දෙන් මෙරටදී නිශ්පාදනය කරන ලද ටී කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් ඊයේ (16) ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ලීලානන්ද විතානාච්චි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ලේනගල්පළාත, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරුගේ ඥාති දියණියක විසින් ඌරගස්මන්හන්දිය පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ. 

සැකකරු තමාගේ නිවසට පැමිණ ගිනි අවිය පෙන්වා මරණීය තර්ජන කල බවද පැමිණිලිකාරිය විසින් ඌරගස්මන්හන්දිය පොලීසියට ප්‍රකාශ කර තිබේ.

පැමිණිල්ලට අදාලව සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත සැකකරුගේ නිවසේ කාමරයේ සඟවා තිබියදී පොලීසිය විසින් ගිනි අවිය සොයා ගෙන තිබේ.

 ගිනි අවිය ටී - 56 උණ්ඩ දැමිය හැකි පරිද්දෙන් මෙරට නිශ්පාදිත ගිනි අවියක් බවත් එවන් ගිනි අවි ටි කටස් වර්ගයේ ගිනිඅවි ලෙසින් හදුන්වන බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

සැකකරු සිකුරාදා (15) රාත්‍රී සිය ඥාති දියණියක් සමඟ බහින් බස් වීමක් ඇතිකරගෙන තිබෙන බවත් එහිදී සැකකරු විසින් ඥාති දියණියට ගිනි අවිය පෙන්වා මරණ තර්ජන කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.

 මීට පෙර සැකකරුට වෙනත් පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් ඊට අදාල නඩුව ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන බවත් ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.