අවසන් තීන්දුව 5 ට

අවසන් තීන්දුව 5 ට

November 13, 2018   04:03 pm

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශනය අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ නියෝගය අද(13) පස්වරු 5ට ප්‍රකාශ කරන බව නිවේදනය කළේය.

අගවිනිසුරු නලින් පෙරේරා,ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීය.

පුරා දින දෙකක් තිස්සේ පැවැති මෙම කරුණු සලකා බැලීම්වලදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් මෙන්ම නීතිපතිවරයා සහ මැදිහත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කීපදෙනෙකුද අධිකරණය හමුවේ  කරුණු දක්වා තිබුණි.

සියලු කරුණු සලකා බැලීම් අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් පිළිබඳ නියෝගය පස්වරු 5ට ප්‍රකාශ කරන බව නිවේදනය කළේය.

මේ අතර, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.