මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගල මරණ 23000ක්

මද්‍යසාර හේතුවෙන් ලංකාවේ වසරකට පුද්ගල මරණ 23000ක්

October 3, 2018   06:06 am

ලෝක මද්‍යසාර නිවාරණ දිනය අදට (03) යෙදි තිබේ.

එහෙත් මද්‍යසාර පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ඒ ගැන ක්‍රියාත්මක වීමට මෙම සුවිශේෂී දිනයන් පමණක් නොසෑහේ.

මද්‍යසාර භාවිතය ලොව පුරා මිනිසුන්ගේ සතුට, සෞඛ්‍ය සහ සංවර්ධනය අඩාල කරවන මිනිසුන් රෝගී කරවන, පුද්ගලයින්ගේ 
ජීවිත හා පවුල් මෙන්ම සමාජයද බිඳ වැටීමකට ලක් කරන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත.

මද්‍යසාර භාවිතය මිනිසුන්ට වැළදෙන ලෙඩරෝග රැසකට දායක වන ප්‍රධාන සාධකයක් වන අතර මධ්‍යම ආදායම් ලාභී රටවල මිනිසුන්ගේ අකල්ප මරණවලට හා ආබාධවලට ලක්කරවන හේතු ලැයිස්තුවේ ඉහළින්ම පවතින්නේ ද මද්‍යසාර භාවිතයයි.

එය ලෙඩරෝග 60කට ප්‍රධානතම හේතුසාධකයක් වන අතර තවත් රෝග 200ක් සෑදීමට දායක වේ.

මද්‍යසාර පිළිබඳ ගෝලීය තත්ත්ව වාර්ථාව 2004 මද්‍යසාර පිළිබඳව කතා තරන විට දැනට ලංකාවේ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට අනාවරණය කර තිබේ.

එමෙන්ම ලංකාවේ මිනිසුන් මත්පැන් සඳහා දිනකට රුපියල් මිලියන 247ක් ද බියර්
සඳහා දිනකට රුපියල් මිලියන 58ක්ද වියදම් කරන බව මද්‍යසාර සමාගම්වල වාර්තාවල සඳහන් වෙයි.

මද්‍යසාර භාවිතය හේතුවෙන් රෝගී වුවන්ට සෞඛ්‍ය වියදම ලෙස රුපියල් බිලියන 145 ක් වැය වෙයි.

මෙම වියදම රජයට ආර්ථිකමය වශයෙන් ප්‍රබල බලපෑමක් ඇති කරයි.

මෙසේ රටේ සංවර්ධනය අඩාල කරවන ,සතුට අහිමි කරවන, මිනිසුන් රෝගී කරවන මද්‍යසාර මේ තරම්
රසවත් දෙයක් ලෙස රටපුරා ව්‍යාප්ත වීමට බලපාන හේතුව කුමක්ද?

මද්‍යසාර සමාගම්වල ඉලක්කය වන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදි මිනිසුන් මේ සඳහා හුරු කිරීමයි.

ඒ සඳහා මද්‍යසාර සමාගම් විවිධ උපායන් යොදාගනිමින් සෘජුව හෝ වක්‍රව ප්‍රචාරණයන් සිදුකරයි.

මද්‍යසාර පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනය වී පැවතිය ද ඒවා ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීති කෙටුම්පත් සකස්වී නොමැති බව මධ්‍යසාර නිවාරණ සංගම් පවසයි.

මද්‍යසාර පාලනය පිළිබඳ ප්‍රතිපත්තියෙහි පවතින අරමුණු ළඟාකර ගැනීමට ප්‍රධාන විෂය පථයන් 10ක් ඔස්සේ කතා කරයි.

නමුත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේද යන්න ගැටළුවකී.

උදාහරණයක් ලෙස මිල නියම කිරිම, වෙළඳාම හා ආයෝජනය පිළිබඳ කතා කරන විට සැබෑ ලෙසම මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මත වේද?

2018 වර්ෂයේ බියර් මිල අඩු වීමක් සිදුවු අතර මෙයට හේතුව බියර් සඳහා වු බදු අඩු කිරීමයි.

එහෙත් සැබැවින්ම සිදුවිය යුත්තේ බියර්වල මිල වැඩිවීමයි.

බියර් මිල අඩුවීමත් සමඟම පෙර කාලයට සාපේක්ෂව බැලූ කළ බියර් භාවිතයේ වැඩි වීමක් දක්නට ලැබු බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධස්ථානය පවසයි.

අඩු මිලට බියර් ලබා ගැනීමට හැකිවීම හේතුවෙන් පාසල් ළමුන් මද්‍යසාර භාවිතයට යොමු වීමේ අවධානමක්ද පවතින බව හෙළී වී ඇත.

ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් විය  යුත්තේ 2018 වර්ෂයට පෙර බියර්වල තිබු මිලට වඩා වැඩි මිලක් ඒ සඳහා නියම කිරීමයි.