FCIDපැමිණිලි 335යි-89ක පරීක්ෂණ අවසන්-12කට නඩු

FCIDපැමිණිලි 335යි-89ක පරීක්ෂණ අවසන්-12කට නඩු

July 27, 2017   05:01 pm

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට මේ වන විට පැමිණිලි 335ක් ලැබී ඇති බවත්, එයින් 89ක විමර්ශන කටයුතු අවසන් කොට ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

එමෙන්ම නීති උපදෙස් ලැබීමෙන් පසු පැමිණිලි 12ක් සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති බවත්, එමෙන්ම තවත් ගොනු 115 ක් විමර්ශන අවසානයේ වසා දමා හෝ වෙනත් ආයතන වෙත යොමු කර ඇති බවත්, පැමිණිලි 131ක් විමර්ශනය කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
 
අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේය.
 
මේ වන විට පැමිණිලිවලට අදාළ ව සැකකරුවන් 56ක් අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් 10දෙනෙක් අධිකරණය වෙත භාර වී ඇති බව ද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
මුදල් විශුද්ධිකරණය කිරීම් වැනි පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමේ දී විදේශ සහාය ලබාගත යුතු වන බව පෙන්වාදුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වන විට රටවල් 25කින් එවැනි ඉල්ලීම් 86ක් සිදු කර ඇති අතර ඉන් 39කට ප්‍රතිචාර ලැබී ඇති බවත් පැවසීය.
 
මෙම පැමිණිලි සම්බන්ධයෙන් පවතින සංකීර්ණ භාවය මෙන් ම විදේශ සහාය ලබාගැනීම, නිලධාරීන් පුහුණු කිරීම වැනි කටයුතු හේතුවෙන් විමර්ශන කටයුතු යම් පමණකින් ප්‍රමාද වන බවත් නමුත් හැකි ඉක්මනින් ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීමට කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
මහා පරිමාණ මූල්‍ය අපරාධ හා අවශ්‍ය ව්‍යාපෘතීන් පිළිබඳ ව සොයා බැලීමේ අරමුණින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය 2015 පෙබරවාරි 13 දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඇතිකොට ඇත.