මුරලි තිලංග ගැන කියූ කතාවට සංගාත් ප්‍රතිචාර දක්වයි

මුරලි තිලංග ගැන කියූ කතාවට සංගාත් ප්‍රතිචාර දක්වයි

July 26, 2016   02:34 pm



ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තවත් සුවිශේෂි ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර ද අදහස් පළ කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කුමාර් සංගක්කාර සඳහන් කර ඇත්තේ මුරලිදරන් ශ්‍රී ලංකාවට ආදරය කරන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍රයෙක් බවයි.

තමන් කැමති ඕනෑම පුද්ගලයකු පුහුණු කිරීමට ඔහුට අයිතියක් තිබෙන බවද ඔහු එමඟින් අවධාරණය කරයි.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට පුහුණුකරුවකු ලෙසින් කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළ හොත් මුත්තයියා මුරලිදරන් කිසිදු පැකිලීමකින් තොරව සහය වනු ඇති බවද හෙතෙම එමගින් සඳහන් කරයි.

මුරලි ඕනෑම කෙනෙකුට උපදෙස් දෙන්නේ ක්‍රීඩාව කෙරෙහි ඔහු තුළ පවතින ඇල්ම හේතුවෙන් බව සංගක්කාර කියයි.

ඔහු ඕනෑම වේලාවක රට වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවත්, එසේ වුවද  සඳහා ඔහුගෙන් ඉල්ලීමක් කළ යුතු බවත්, සංගක්කාර පෙන්වාදෙයි.

ලංකාවේ ඕනෑම දඟ පන්දු යවන්නෙක් මුරලි ළඟට ඇවිත් පන්දු යැවීම ගැන ඇසුවොත් මුරලි හැකි උපරිම කාලය ගෙන ඔහුට උපදෙස් දෙනු ඇතැයිද සංගක්කාර සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර  ඇත.