සයුරෙන් එතෙර
ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයෙන් බංග්ලාදේශය පීඩාවට
August 14, 2026 09:54 pm
බංග්ලාදේශ මහ බැංකුවේ නවතම දත්තවලට අනුව 2025-26 මුදල් වර්ෂයේදී බංග්ලාදේශයේ වෙළඳ හිඟය වසර 3 කින් ඉහළම අගය වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පසුගිය මුදල් වර්ෂයට සාපේක්ෂව සියයට 34 කින් ඉහළ ගිය මෙම වෙළඳ හිඟය 2025-26 මුදල් වර්ෂය අවසානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 27.28 ක් දක්වා වර්ධනය වී ඇති බව එරට මහ බැංකුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරයි .
එම මුදල් වර්ෂය තුළ බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් බිලියන 43.85ක භාණ්ඩ අපනයනය කර ඇති අතර, එය ඊට පෙර වසරට වඩා වෙනස් නොවී එකම මට්ටමක පවතී.
නමුත් ආනයන වියදම් පෙර වසරට වඩා සියයට 10.5 කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් බිලියන 71.14 ක් ලෙස සටහන් වූ අතර, මෙය 2021-22 මුදල් වර්ෂයෙන් පසුව වාර්තා වූ ඉහළම වාර්ෂික ආනයන වර්ධනය බව සඳහන්ය.
විශේෂයෙන් ඛනිජ තෙල් මිල ඉහළ යාම ඇතුළු උද්ධමනකාරී හේතු නිසා ආනයන වියදම් ඉහළ ගිය බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් පනවන ලද තීරුබදු, බටහිර රටවල ඉහළ යන උද්ධමනය සහ යුදමය තත්ත්වයන් නිසා ඇති වූ සැපයුම් පද්ධති බිඳවැටීම් හේතුවෙන් ජාත්‍යන්තර කලාපවලින් ලැබෙන අපනයන ඇණවුම් අඩුවී ඇති බවත් ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
එබැවින්, මෙම පුළුල් වන වෙළඳ අසමතුලිතතාවයෙන් පිළිඹිබු වන්නේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ ඇති වී තිබෙන අස්ථාවරත්වය බවද ඔවුන් පවසයි.
