සයුරෙන් එතෙර
ඉන්දියාවේ BrahMos මිසයිල පද්ධතිය මිලදීගැනීමට තායිලන්තයේ අවධානය
August 7, 2026 05:15 pm
රාජකීය තායි නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ බලය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත BrahMos සුපර්සොනික් කෲස් මිසයිලයේ නෞකා නාශක මාදිලිය මිලදී ගැනීම කෙරෙහි තායිලන්තයේ අවධානය යොමුවී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම මිසයිල පද්ධතිය අත්පත් කරගැනීම හරහා තායිලන්තය බලාපොරොත්තු වන්නේ බලවත් රටවල හමුදාවන් මත පදනම් නොවී, තම වෙරළාශ්‍රිත ප්‍රදේශ සහ වැදගත් මුහුදු තීරයන් ආරක්ෂා කරගනිමින් ස්වාධීන ආරක්ෂක බලයක් ගොඩනැගීමය.
2025 වසරේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීමෙන් අනතුරුව, පසුගිය ජූනි මාසයේදී බැංකොක් නුවර පැවැති ආරක්ෂක හමුවකදී ආරක්ෂක නිෂ්පාදන සහයෝගීතාව ඉහළ නැංවීමට එළඹි එකඟතාව මත මෙම සාකච්ඡා ඉදිරියට යමින් තිබේ.
මේ අතර ඉන්දු-රුසියානු තාක්ෂණික මිසයිල පද්ධතිය කෙරෙහිද තායිලන්තයේ අවධානය යොමුවී ඇති බව පැවසෙයි.
වර්තමානයේදී තායිලන්තය බීජිං පාලනය සමඟ සමීප ආර්ථික සබඳතා පවත්වාගෙන යන අතරම නිරන්තරයෙන් චීන හමුදා තාක්ෂණය ද අත්පත් කර ගනී. එමෙන්ම වොෂින්ටනය ඇතුළු අනෙකුත් ගෝලීය සැපයුම්කරුවන් සමඟ ද සිය ආරක්ෂක සබඳතා තවදුරටත් සුරක්ෂිතව පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටී.
