සයුරෙන් එතෙර
ඉම්රාන් ඛාන්ට නිදහස ඉල්ලා යළිත් විරෝධතා
August 7, 2026 02:44 pm
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් නැවත ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා ආරම්භ කර තිබේ.
ඔහුගේ පවුලේ පිරිස්, දේශපාලන පක්ෂය සහ ප්රමුඛ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එහි පෙරමුණ ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසයි.
ඉම්රාන් ඛාන් සිරගත කර වසර තුනක් පිරීම නිමිත්තෙන් සහ ඔහු හුදකලාව සිරකර තැබීම හෙළාදකිමින් මෙම විරෝධතා ආරම්භ කර ඇති බවද පැවසෙයි.
පසුගිය බදාදා ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂයේ සාමාජිකයින් සහ ආධාරකරුවන් දහස් ගණනක් ඔහු වහා නිදහස් කරන ලෙස බල කරමින් රට පුරා විරෝධතා පවත්වා තිබුණි.
73 හැවිරිදි ඉම්රාන් ඛාන් 2018 සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්තානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ අතර අමෙරිකා එක්සත් ජනපදය සමඟ එක්ව හමුදාව විසින් දියත් කළ කුමන්ත්රණයකින් තමන්ව ඡන්දයකින් බලයෙන් පහ කළ බවට ඔහු චෝදනා කළේය. කෙසේ වෙතත්, වොෂින්ටනය සහ පාකිස්තාන හමුදාව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.
තමන් බලයෙන් පහ කිරීමට එරෙහිව ඉම්රාන් ඛාන් දැවැන්ත ජන රැලි පවත්වද්දී, 2023 මැයි මාසයේදී ඔහු ප්‍රථම වරට කෙටි කාලයකට අත්අඩංගුවට ගැනුණු අතර, පසුව එම වසරේම අගෝස්තු 5 වන දින දූෂණ සහ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීමේ චෝදනා කිහිපයක් මත සිරගත කෙරිණි. එම සියලු චෝදනා දේශපාලන පලිගැනීම් ලෙස හඳුන්වමින් ඔහු ප්‍රතික්ෂේප කළේය.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් දැනට වසර 14 ක සිරදඩුවමක් විඳිමින් සිටින අතර, එම නඩුවේදීම ඔහුගේ බිරිඳට වසර හතක සිරදඩුවමක් නියම විය. මීට අමතරව, රාජ්‍ය තෑගි සම්බන්ධ නඩුවකට අදාළව පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම දෙපළට තවත් වසර 17 ක සිරදඩුවමක් නියම කෙරුණි.
