අධික උණුසුමින් සිංහයින් 3ක් මරුට - තවත් 10කට රෝග ලක්ෂණ
සයුරෙන් එතෙර

අධික උණුසුමින් සිංහයින් 3ක් මරුට - තවත් 10කට රෝග ලක්ෂණ

August 4, 2026   01:32 pm

ජපානයේ ටෝකියෝ නුවර තමා (Tama) සත්වෝද්‍යානයේ සිටි ගැහැණු සිංහයින් තිදෙනෙකු අධික උණුසුම හේතුවෙන් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 ත් 15 ත් අතර ගැහැණු සිංහයින් තිදෙනෙකි.

අධික රස්නය නිසා සිරුරේ ජලය හිඟවීම සහ ශරීරයේ අභ්‍යන්තර අංග අක්‍රිය වීම මෙලෙස මියයෑමට හේතු වී තිබේ.

මේ අතර, සත්වෝද්‍යානයේ සිටි තවත් සිංහයින් 10 දෙනෙකු පමණ කෑම අරුචිය සහ අලස බව වැනි රෝග ලක්ෂණ පෙන්වා ඇති අතර, ඒ අතුරින් තවත් සිංහයින් 3 දෙනෙකු තවමත් බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව සඳහන් වෙයි.

මෙම සත්වෝද්‍යානයේ 1964 වර්ෂයේ සිට සිංහයින් ප්‍රදර්ශනය කරන අතර, උණුසුම නිසා සිංහයින් මියගිය පළමු අවස්ථාව මෙය වේ.

අධික උණුසුම නිසා ජූලි 23 වනදා සිට සිංහයින් ප්‍රදර්ශනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.