සයුරෙන් එතෙර
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්
July 30, 2026 08:23 am
මැදපෙරදිග අමෙරිකානු හමුදාවන් ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් සිදු කරන ලද හදිසි ප්‍රහාර උත්සාහයකට ප්‍රතිචාර වශයෙන්, ඉරානයට එරෙහිව දැවැන්ත සහ ප්‍රබල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව අමෙරිකානු හමුදාව නිවේදනය කරයි.
අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය (Centcom) 'X' සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේ, පසුගිය අඟහරුවාදා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරු සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික යාත්‍රා ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට එරෙහිව මෙම "ප්‍රබල ප්‍රතිචාරය" ලබා දුන් බවය.
මෙම නවතම ගැටුම් හටගත්තේ, ඉරාකයේ ක්‍රියාත්මක වන ඉරාන හිතවාදී කණ්ඩායම් ඉලක්ක කරගනිමින් අමෙරිකාව සහ සෞදි අරාබිය ඒකාබද්ධ ප්‍රහාර මාලාවක් දියත් කර දිනක් ගත වීමෙන් පසුවයි.
පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව මෙම යුද්ධය ආරම්භ කරන අවස්ථාවේදී, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ මෙම යුද්ධය සති කිහිපයකින් අවසන් වනු ඇති බවය.
එහෙත්, කිසිදු අවසානයක් පෙනෙන්නට නොමැතිව දැන් එය මාස පහක් පුරා පැවැත්වේ.
දින කිහිපයක සාපේක්ෂ සාමකාමී තත්ත්වයකින් පසු මෙම ගැටුම් යළිත් උත්සන්න වී ඇත. දින කිහිපයක් පුරා දෙපාර්ශ්වයම ප්‍රහාර අත්හිටුවමින් රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව පෙනෙන්නට තිබුණි.
ජනාධිපති ට්‍රම්ප් මෙම සාකච්ඡා "ඉතා මිත්‍රශීලී සාකච්ඡා" ලෙස හැඳින්වූ නමුත්, ටෙහෙරාන් රජය එවැනි කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව ප්‍රකාශ කළේය.
