සයුරෙන් එතෙර
ලැව්ගින්නෙන් ඇවිළෙන ප්‍රංශය සහ ස්පාඤ්ඤය
July 25, 2026 09:56 pm
ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ පාලනය කරගත නොහැකි ලෙස පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් 250,000 කට අධික ජනතාවක් නිවාස සහ සංචාරක නිකේතන අතහැර යාමට කටයුතු කර තිබේ.
ස්පාඤ්ඤයේ අගනුවර වන මැඩ්රිඩ් ආසන්නයේ හටගෙන ඇති ලැව්ගිනි පාලනය කිරීමට එරට ගිනි නිවන භටයින් අද (25 ) උත්සාහ කළද, අවිනිශ්චිත සුළං තත්ත්වයන් හේතුවෙන් ගින්න තවදුරටත් පැතිරීමේ අවදානමක් පවතින බව නිලධාරීන් අනතුරු අඟවා ඇත.
මැඩ්රිඩ් ප්‍රාදේශීය රජයේ හදිසි කළමනාකරණ ඒකකය සඳහන් කර ඇත්තේ, අගනුවර ආසන්නයේ පවතින ගින්න "එහි උච්චතම අවස්ථාවට ළඟා වී ඇති අතර දැනට ගිනි නිවන භටයින්ගේ පාලන ධාරිතාව ඉක්මවා ගොස් ඇති" බවයි.
ස්පාඤ්ඤ අභ්‍යන්තර අමාත්‍යාංශයට අනුව, ගින්න නිසා මැඩ්රිඩ් කලාපයෙන් හෙක්ටයාර් 10,000 කට ආසන්න ප්‍රමාණයක් සහ අසල්වැසි අවිලා පළාතෙන් හෙක්ටයාර් 13,000 ත් 15,000 ත් අතර ප්‍රමාණයක් විනාශ වී ඇත.
මෙය ප්‍රංශයේ පැරිස් අගනුවර මතුපිට ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි.
මේ වන විට පුද්ගලයින් 70,000 ක් ඉවත් කර ඇති බව අමාත්‍යාංශය පවසයි.
අග්‍රාමාත්‍ය පේද්රෝ සැන්චෙස් ප්‍රකාශ කළේ, ලැව්ගිනි මැඩපැවැත්වීමේදී ප්‍රමුඛතාවය හිමිවන්නේ "ජීවිත බේරා ගැනීමට" බවයි.
ප්‍රංශයේ, Bordeaux නගරයට ආසන්න උප නගරවල දරුණු ලෙස පැතිර යන ලැව්ගිනි හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇත.
ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රකාශ කළේ ජිරොන්ඩ් සහ ලෑන්ඩ්ස් කලාපවලින් මේ දක්වා පුද්ගලයින් 197,000 ක් ඉවත් කර ඇති බවය.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නුනෙස් සඳහන් කළේ ප්‍රංශය පුරා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර් 98,000 කට ආසන්න ප්‍රමාණයක් දැවී ගොස් ඇති බවත්, මීට පෙර එවැන්නක් සිදුව නොමැති බවත්ය.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් යුරෝපා සංගමයේ සහය ඉල්ලා ඇති අතර, හමුදා ප්‍රවාහන ගුවන් යානා යොදවන ලෙස ද නියෝග කර තිබේ.
මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ නියඟය මෙම වසරේ ලැව්ගිනි තර්ජනය තවත් තීව්ර කර ඇත.
