භූමිකම්පාවෙන් මසකට පසුවත් අතුරුදහන් වූවන් සොයන ඥාතීන්
සයුරෙන් එතෙර

භූමිකම්පාවෙන් මසකට පසුවත් අතුරුදහන් වූවන් සොයන ඥාතීන්

July 24, 2026   09:04 am

වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට දැඩි බලපෑමක් එල්ල කරමින් ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවී මාසයක් ගතවී තිබුණද, තවමත් තම අතුරුදහන් වූ ඥාතීන් සහ ආදරණීයයන් සොයා ජනතාව සුන්බුන් අතර මෙහෙයුම් පවත්වමින් සිටිති.

රජයේ නිල වාර්තාවලට අනුව මේ වන විට පුද්ගලයින් 5,300 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 16,500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

නමුත් අතරුදන් වූ පිරිස් සම්බන්ධයෙන් රජය නිල සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත්කර නොමැති අතර, අතුරුදහන් වූ සංඛ්‍යාව දස දහස් ගණනක් විය හැකි බවට විශ්වාස කෙරේ.

එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසා ඇත්තේ එකිනෙකට වෙනස් දිශාවන්ගෙන් පැමිණි ප්‍රබල භූමිකම්පා දෙක හමුවේ මෙවැනි හානියක් වැළැක්වීම ඕනෑම රටකට අභියෝගයක් වන බවය.

විශාල පිරිසක් තවමත් තාවකාලික කූඩාරම් වල ජීවත් වන අතර  සහන සේවා සංවිධාන මගින් ඔවුන්ට ආහාර සහ ජලය ලබා දෙමින් සිටියි. 

රජය පවුල් 200කට පමණ නව නිවාස ලබා දී තිබුණද, නැවත ගොඩනැගීමේ අවශ්‍යතාව ඊට සිය ගුණයකින් වැඩිය.

ලෝක බැංකුවේ තක්සේරුවට අනුව මෙම භූමිකම්පාවලින් සිදු වූ අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 19.6කි.

අමෙරිකානු හමුදා විසින් හිටපු නායක නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පත්වූ වැඩබලන ජනාධිපතිනියට අමෙරිකානු සහාය හිමි වුවද, වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයේ පාලනය අමෙරිකාව සතුව පැවතීම හේතුවෙන් නැවත ගොඩනැගීමේ කටයුතු කෙසේ සිදුවනු ඇත්දැයි තවමත් අවිනිශ්චිතය.