බීමතින් රිය පැදවීමේ චෝදනාවට ඩේවිඩ් වෝනර් වරද පිළිගනී
July 22, 2026 04:13 pm
බීමතින් රිය පැදවීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ මරූබ්‍රා ප්‍රදේශයේ සිදුකළ හදිසි රථවාහන සෝදිසි කිරීමකදී පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
ඊට අදාළ නඩුව එරට වේවර්ලි ප්‍රාදේශීය අධිකරණය හමුවේ අද (22) කැඳවූ අවස්ථාවේදී, වෝනර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැනුම් දුන්නේ තම සේවාදායකයා අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවය.
මෙහිදී වෝනර්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙම වරද සම්බන්ධයෙන් වෝනර්ට යම් සහනයක් අපේක්ෂා කරන අතරම, රටේ සාමාන්‍ය පුරවැසියෙකුට හිමිවන නීතිමය ක්රියාමාර්ගයන්ටම ඔහු යටත් වන බවය.
කෙසේ වෙතත්, අද දින නඩු විභාගය සඳහා ඩේවිඩ් වෝනර් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔහුට අදාළ දඬුවම් නියම කිරීම එළඹෙන අගෝස්තු 18 වැනිදාට කල් තබා ඇත.
මෙම සිදුවීමත් සමග, ඉදිරියේදී පැවැත්වීමට නියමිත බිග් බෑෂ් ලීග් (BBL) තරගාවලියේදී සිඩ්නි තන්ඩර්ස් (Sydney Thunder) කණ්ඩායමේ නායකත්වය වෝනර්ට අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවද වාර්තා වේ.
