සයුරෙන් එතෙර
පාකිස්තානයේ විශාලතම රන් සහ තඹ පතල වැසීයාමේ අවදානමක
July 17, 2026 03:07 pm
පාකිස්තානයේ නිරිතදිග කලාපයේ පවතින දැඩි ආරක්ෂක තර්ජන හමුවේ, එරට දැනට ක්‍රියාත්මක වන විශාලතම තඹ සහ රන් පතල සම්පූර්ණයෙන්ම වසා දැමීමේ අවදානමකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බලොචිස්තානය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සන්නද්ධ බෙදුම්වාදී කණ්ඩායම්වල ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් පතල වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නොහැකි වී ඇති අතර, එමඟින් පතල් කටයුතුවලට දැඩි බාධා එල්ලවී ඇතැයි පැවසෙයි.
පවතින තත්ත්වය කඩිනමින් යහපත් නොවුවහොත් ඉදිරි මාසයක කාලය ඇතුළත මෙහෙයුම් කටයුතු මුළුමනින්ම නතර කිරීමට සිදුවනු ඇතැයිද එම වර්තා පවසයි.
මෙම තත්ත්වය පිළිබඳව රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් පාකිස්තාන අභ්‍යන්තර කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පතල් පරිශ්‍රයන්, සේවකයින්, සැපයුම් සහ ප්‍රවාහන කටයුතු ඇතුළු සියලු අංශවල ආරක්ෂාව වෙනුවෙන් අමතර ආරක්ෂක බලඇණි යෙදවීමට පළාත් පාලන ආයතනවලට සහ අදාළ සියලුම ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇති බවය.
ඛනිජ සම්පත්වලින් පොහොසත් බලොචිස්තාන ප්‍රාන්තයේ පිහිටි සයින්දක් පතල, 2001 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන්නේ චීන රජයට අයත් ‘මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා’ (MCC) සමාගම විසිනි.
මෙම පතල 2037 වසර දක්වා දීර්ඝ කාලීන බදු පදනමක් යටතේ චීන සමාගම වෙත පවරා ඇත.
