බටහිර ආසියාවේ තත්ත්වය ගැන ඉන්දියාව දැඩි ස්ථාවරයක
සයුරෙන් එතෙර

බටහිර ආසියාවේ තත්ත්වය ගැන ඉන්දියාව දැඩි ස්ථාවරයක

July 15, 2026   09:02 am

බටහිර ආසියානු කලාපයේ වර්ධනය වෙමින් ඇති දේශපාලන සහ ආරක්ෂක තත්ත්වයන්  පිළිබඳව තමන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ඉන්දියාව පවසයි. 

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය සහ වාණිජ කටයුතු කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව පවත්වාගෙන යායුතු බවද ඉන්දියාව නැවත වරක් අවධාරණය කරයි.

නව දිල්ලියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් කියා සිටියේ, ලොව පුරා සිටින ජනතාවගේ ආර්ථික සහ බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂාව අත්‍යවශ්‍ය සාධකයක් බවය.

මෙම තත්ත්වය හමුවේ ඉන්දියාවේ ඉරාන නියෝජ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානියා විදේශ අමාත්‍යාංශය වෙත කැඳවීමටද ඉන්දීය රජය පියවර ගෙන ඇති බව පැවසෙයි. 

එහිදී කලාපය තුළ සිදුවන ප්‍රහාරයන් ඉන්දියාව දැඩි ලෙස හෙළා දකින බවත්, මේ පිළිබඳව නව දිල්ලියේ බලවත් කනස්සල්ල ඉරානය වෙත නිල වශයෙන් දැනුම් දුන් බවත් ජයිස්වාල් පවසයි.

එමෙන්ම, පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කරමින්, දෙපාර්ශ්වයම සාකච්ඡා මේසයට පැමිණ රාජ්‍ය තාන්ත්‍රික මාවත තෝරාගත යුතු බවත්, බටහිර ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය තහවුරු කළ හැක්කේ ඒ හරහා පමණක් බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.