විපතට පත් රටවලට සහාය දුන් හැටි මෝදි මතක් කරයි
සයුරෙන් එතෙර

විපතට පත් රටවලට සහාය දුන් හැටි මෝදි මතක් කරයි

July 10, 2026   08:46 pm

විපතට පත් රටවලට සහයෝගය ලබාදීමේදී ඉන්දියාව කිසිවිටෙකත් ඔවුන්ගේ ජාතිකත්වය පිළිබඳව සැලකිලිමත් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ලෝකය ඉන්දියාව කෙරෙහි ගැඹුරු විශ්වාසයක් තැබීමට හේතුව මෙම මානුෂීය ප්‍රවේශය බවද ඔහු අවධාරණය කළේය.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර 'Melbourne Meets Modi'උත්සවයට සහභාගී විශාල විදෙස්ගත ඉන්දීය ප්‍රජාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ, ලොව පුරා ඇති වන අර්බුද සහ ව්‍යසනවලදී ඉන්දියාව දක්වන කඩිනම් ප්‍රතිචාරය හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉහළ විශ්වාසය දිනාගැනීමට ඉන්දියාව සමත්ව ඇති බවය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ ශක්‍යතාවන් සහ ශක්තිය පුළුල් වන විට, එහි ප්‍රතිලාභ ඉන්දීය දේශසීමාවලින් ඔබ්බට සමස්ත මානව වර්ගයාටම දැනෙන බවය. 

මෑතකාලීන මානුෂීය ආධාර පිළිබඳ උදාහරණ පෙන්වා දෙමින් ඔහු පවසා සිටියේ වෙනිසියුලාවේ සිදුවූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව සහන ද්‍රව්‍ය, මුදවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්‍ය විශේෂඥයින් යවමින් ඉන්දියාව ඉතා කඩිනමින් ප්‍රතිචාර දැක්වූ බවය.

තුර්කියේ සහ සිරියාවේ සිදුවූ ව්‍යසනවලදීද ඉන්දියාව දැක්වූ හදිසි ප්‍රතිචාරය මෝදි මෙහිදී සිහිපත් කර ඇත.

මියන්මාරයේ ක්‍රියාත්මක වූ “ඔපරේෂන් බ්‍රහ්ම” ශ්‍රී ලංකාවට බලපෑ දරුණු සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව දියත් කළ “ඔපරේෂන් සාගර බන්දු” ඇතුළුව ඉන්දියාව විසින් මෑතකදී සාර්ථකව නිම කරන ලද අනෙකුත් ජාත්‍යන්තර මානුෂීය මෙහෙයුම් පිළිබඳවද අගමැති මෝදි කරුණු අනාවරණය කර තිබේ.