කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට මෝදිට ආරාධනයක්
සයුරෙන් එතෙර

කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට මෝදිට ආරාධනයක්

June 25, 2026   08:42 am

ඝාතනයට ලක්වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වන ලෙස ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබේ. 

නිල ආරාධනා ලැබූ ලෝක නායකයන් අතර ඉන්දීය අගමැතිවරයාට අමතරව චීනය, රුසියාව, කටාර් රාජ්‍යය, ප්‍රංශය සහ පාකිස්තානය යන රටවල නායකයෝද වෙති. 

ඉකුත් පසුගිය පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින්  අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වී තිබුණි.

නගර කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම අවමංගල්‍ය උත්සවය එළඹෙන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ගවලට අනුව, නව දිල්ලියේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය වෙත මීට දින දෙකකට පෙර මෙම නිල ආරාධනා පත්‍රය ලැබී ඇති අතර, ඔවුන් එය පසුගිය අඟහරුවාදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව පැවසෙයි.

මෙම අවමංගල්‍ය උත්සව මාලාව ජූලි 4 වැනිදා ටෙහෙරාන් අගනුවරින් ආරම්භ වන අතර, ජූලි 9 වැනිදා කමේනිගේ උපන් ගම වන මෂාද් (Mashhad) නුවරදී ඔහුගේ දේහය භූමදානය කිරීමෙන් අනතුරුව අවසන් වීමට නියමිතය.

86 වැනි වියේ පසු වූ කමේනි, පසුගිය පෙබරවාරි මාසයේදී ඔහුගේ නිල නිවාස සංකීර්ණයට එල්ලවූ අමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.