සයුරෙන් එතෙර
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනිය ඉන්දියාවට
June 5, 2026 11:21 am
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනිය දින පහක නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ ඇමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන මාස පහකට පසුව සිදුවන මෙම සංචාරය දේශපාලනික වශයෙන් බෙහෙවින් වැදගත් බව ඉන්දීය මාධ්‍ය පවසයි.
පසුගිය ජනවාරි 3 වනදා සිදුවූ එම අත්අඩංගුවට ගැනීමෙන් පසු, එවකට උප ජනාධිපතිනිය ලෙස කටයුතු කළ Delcy Rodriguez එරට වැඩබලන ජනාධිපතිනිය ලෙස පත් කෙරුණි.
මෙම සංචාරය පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් පැවසුවේ වැඩබලන ජනාධිපතිනි ඉකුත්දා පැවැත්වීමට නියමිතව තිබූ International Big Cat Alliance සමුළුවට සහභාගි වීමට නියමිතව සිටි බවය.
කෙසේ වෙතත්, එම සමුළුව කල්දැමීම හේතුවෙන් ඇය මෙලෙස ඉන්දියාවේ නිල රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත වන බවද ඔහු පැවසුවේය.
අමෙරිකාව විසින් සිදුකරන ලද මදුරෝ අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් බව පවසමින් රුසියාව ඇතුළු රටවල් රැසක් මේ වන විටත් අමෙරිකාව දැඩි ලෙස විවේචනය කර තිබේ.
මෙම සංචාරය සඳහා වැඩබලන ජනාධිපතිනිය සමඟ වෙනිසියුලානු විදේශ කටයුතු, ආර්ථික හා මුදල්, විද්‍යා හා තාක්ෂණ, සන්නිවේදන හා තොරතුරු මෙන්ම ප්‍රවාහන යන ක්ෂේත්‍ර භාර අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක්ද එක්වෙයි.
මෙම සංචාරය අතරතුරදී වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
