'2026 LPL' ක්‍රීඩක කෙටුම්පතට ක්‍රීඩකයින් 421ක්

'2026 LPL' ක්‍රීඩක කෙටුම්පතට ක්‍රීඩකයින් 421ක්

May 29, 2026   02:36 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (LPL)ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Player Draft) සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයන් 421 දෙනෙකු ඇතුළත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ක්‍රිකට් ආයතනය අද (29) දන්වා සිටියේ, ඉන් දේශීය ක්‍රීඩකයින් 179ක් සහ විදේශීය ක්‍රීඩකයින් 242ක් දෙනෙකු ඇතුළත් බවය.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමට තෝරාගත් මෙරට ක්‍රීඩකයින් ජාතික මට්ටම, දේශීය මට්ටම මෙන්ම නැගීඑන (Emerging) ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තෝරාගෙන ඇත.

සියලුම දෙස් විදෙස් ක්‍රීඩකයින් ප්ලැටිනම්, ගෝල්ඩ්, ක්ලැසික්, නැගීඑන සහ ඇසෝසියේට් ස්ටාර්ස් (Associate Stars) ලෙස කාණ්ඩ කිහිපයක් වර්ගකර ඒ ඒ කණ්ඩායම් සඳහා තෝරාගැනීම සිදුකරන ලබයි.

එහි දේශීය ක්‍රීඩකයින්ගෙන් 17ක් ප්ලැටිනම් කාණ්ඩයට ඇතුළත් අතර, ගෝල්ඩ් කාණ්ඩයට 34ක්, ක්ලැසික් කාණ්ඩයට 80ක් හා නැගීඑන කාණ්ඩයට 48ක් ලෙස සෙසු ක්‍රීඩකයින් නම්කර ඇත. 

එමෙන්ම විදේශීය ක්‍රීඩකයින්ගෙන් 31ක් ප්ලැටිනම් කාණ්ඩයට ඇතුළත් අතර, 64ක් ගෝල්ඩ් කාණ්ඩයට ඇතුළත්ය. තවත් ක්‍රීඩකයින් 99ක් ක්ලැසික් හා ක්‍රීඩකයින් 48ක් ඇසෝසියේට් ස්ටාර්ස් කාණ්ඩයට ඇතුළත් බව ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.    

ක්‍රීඩක කෙටුම්පත් කිරීම ජූනි 1 වැනිදා ප.ව. 1.30ට කොළඹදී සිදුකෙරේ.

එම මෙම අවස්ථාවට ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මෙන්ම සියලුම කණ්ඩායම් හිමිකරුවන් හා කණ්ඩායම් කලමනාකාරීත්වයන් සහභාගී වීමට නියමිතය. 

6 වැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය එළඹෙන ජූලි මස 17 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ සඳහා ICC පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවලින් ක්‍රීඩකයන් ඇතුළුව ලොව පුරා රටවල් 21කින් ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති බව එහි සඳහන් විය.