චීනය සහ අමෙරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතුයි - චීන ජනපති
සයුරෙන් එතෙර

චීනය සහ අමෙරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතුයි - චීන ජනපති

May 14, 2026   08:28 am

චීනය සහ අමෙරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය ‍කරයි.

නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී ඔහු මේ බව පවසා ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් අද (14) විශේෂ පිළිගැනීමේ උත්සවයක් පවත්වා තිබුණි.

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ, බෙයිජිංහි මහජන මහා ශාලා පරිශ්‍රය ඉදිරිපිටය.

එහිදී හමුදා උත්තමාචාර සහ පෙළපාළි සහිත ගෞරව දැක්වීම් වලින් අනතුරුව, චීන අමෙරිකානු රාජ්‍ය නායක දෙපළ මහජන මහා ශාලාවේදී සාකච්ඡා සඳහා එක්ව තිබුණි.

වර්තමානයේ ලෝකය මුහුණ දෙන පෙර නොවූ විරූ හදිසි වෙනස්කම් හමුවේ ජාත්‍යන්තර තත්ත්වය ගැටුම්කාරී වාතාවරණයක පවතින බව ෂී ජින්පිං  ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. 

චීනය හා අමෙරිකාවට ‘Thucydides’ උගුලට හසු නොවී ප්‍රධාන හා දැවැන්ත රටවල් අතර සබඳතාවයේ නව ආකෘතියක් නිර්මාණය කළ හැකිද? දෙරටට එක්ව ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙමින් ලෝකයට වඩාත් වැඩි නිශ්චිතභාවය ලබා දිය හැකිද? දෙරට අතර සබඳතාවයේ සුන්දර අනාගතයක් එක්ව නිර්මාණය කළ හැකිද? වත්මන් යුගයේ මතුව ඇති මෙම ප්‍රශ්න වෙත ප්‍රධාන රටවල නායකයන් එක්ව පිළිතුරු ලබා දිය යුතු බව ෂී ජින් පිං ජනාධිපති එහිදී අවධාරණය කර තිබේ.

දෙරටටම සහ ලෝකයටම අදාළ වැදගත් කරුණු පිළිබඳව ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කර ගනිමින් චීන-අමෙරිකා සබඳතාවය නිවැරදි ලෙස ඉදිරියට මෙහෙයවීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. 

2026 වසර චීන-අමෙරිකා සබඳතා සඳහා ඓතිහාසික හා සන්ධිස්ථානීය වසරක් බවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනපති ෂී ජින් පිං එහිදී සඳහන් කර ඇත.