සයුරෙන් එතෙර
ආනයනික විදුලි වාහන ගැන මැලේසියාවෙන් නව සැලසුම්
April 15, 2026 09:54 pm
මැලේසියානු රජය විසින් ආනයනය කරනු ලබන විද්‍යුත් මෝටර් රථ සඳහා නව සීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ, මේ වනවිට මැලේසියාවේ මෝටර් රථ නිෂ්පාදකයින්ද විදුලි වාහන නිෂ්පාදනය කිරීමට පෙළඹී සිටිම හේතුවෙනි.
පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වීමේ සැලැස්මක කොටසක් ලෙස මැලේසියාව වසර හතරකට පෙර විදුලි මෝටර් රථ (EV) සඳහා වන ආනයන බදු ඉවත් කළේය.
එම අවස්ථාවේදී මැලේසියාව විදුලි වාහන නිෂ්පාදනය නොකළ අතර, ඒ හේතුවෙන් විදුලි මෝටර් රථ මාදිලි දහස් ගණනින් එරටට එවීම චීන මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ආරම්භ කරන ලදි.
වැඩි කල් නොගොස්, මැලේසියාවේ කුඩා නමුත් වර්ධනය වෙමින් පවතින විදුලි වාහන වෙළඳපොළේ ආධිපත්‍යය පැතිරවීමට චීන සමාගම් සමත්වි තිබුණි.
නමුත් මෙම ආනයන බදු ඉවත් කිරීමේ කාලය 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වී ඇත.
ඒ අනුව චීන සමාගම් මැලේසියාව තුළම වාහන එකලස් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා යොමු කිරීමට මැලේසියානු රජය මේ හරහා බලාපොරොත්තු වෙයි.
මැලේසියාවේ මෙම ප්‍රතිපත්තිමය වෙනස්කම්වලින් පෙනී යන්නේ, චීනයේ දැවැන්ත නිෂ්පාදන ශක්තිය හමුවේ තමන්ගේම දේශීය කර්මාන්ත සහ රැකියා ආරක්ෂා කරගැනීම, විදේශීය තරඟකාරිත්වයෙන් දේශීය සමාගම් ආරක්ෂා කරගැනීමත් අතර තෝරාගැනීමක් කිරීමට රජයට සිදුවී ඇති ආකාරය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
