බංග්ලාදේශය පරදා වසර 20කට පසු ශ්‍රී ලංකාවට හොකී ජයක්

බංග්ලාදේශය පරදා වසර 20කට පසු ශ්‍රී ලංකාවට හොකී ජයක්

April 4, 2026   03:06 pm

ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ හොකී තරගාවලියේ මූලික වටයේ ඊයේ (3) පැවති තරගයකින් ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ගෝල 3-2ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙය ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමක් බංග්ලාදේශයට එරෙහිව වසර 20කට පසු ලැබූ හොකී ජය ලෙස වාර්තා අතරට එක්විය.

මෙම තරගාවලිය තායිලන්තයේ දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එහි 'බී' කාණ්ඩයෙන් තරග වදිනු ලබයි.

මේ යටතේ ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජය ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාව පසුගිය අප්‍රේල් 2වැනිදා ක්‍රීඩාකළ පළමු තරගයෙන් උස්බෙකිස්තානය ගෝල 3-1ක් ලෙස පහසුවෙන් පරජය කිරීමට සමත්වූ අතර, ඒ අනුව ඔවුන් මේ වනවිට එම කාණ්ඩයේ පෙරමුණ‍ ගෙන සිටී.

මූලික වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන අවසන් තරගය චීන තායිපේට එරෙහිව  අනිද්දා (6) පැවැත්වේ.

මෙම තරගාවලියේ ඉහළම කණ්ඩායම් 6ට 2026 ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.