සයුරෙන් එතෙර
යුද උණුසුම ගැන ප්‍රංශ - ඉන්දු නායකයින් සාකච්ඡා
March 7, 2026 09:10 am
වර්ධනය වෙමින් පවතින යුදමය තත්ත්වය පිළිබඳ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග දුරකථන මාර්ගයෙන් සාකච්ඡාවක නිරතවී තිබේ.
ඒ සම්බන්ධයෙන් නායකයින් දෙපළ කනස්සල්ල පළ කර ඇති අතර නැවත සාකච්ඡා මාර්ගයට සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයට අවතීර්ණ වීමේ අවශ්‍යතාවය පෙන්වාදී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මැක්‍රොන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදයෙන් අනතුරුව මෝදි ප්‍රකාශ කර ඇත්තේ, කලාපය තුළ කඩිනමින් සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දෙරට සමීපව කටයුතු කරන අතර ඒකාබද්ධ උත්සාහයන් සම්බන්ධීකරණය කරන බවය.
මෙම ගැටුම් ආරම්භ වූයේ පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ හමුදා ප්‍රහාරවලින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමත් සමඟය.
ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, ජෝර්දානය සහ සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයක පිහිටි ඊශ්‍රායල සහ අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් ඉරානය ප්‍රහාර මාලාවක් දියත් කළේය.
